ඛනිජ නිස්සාරණ ක්ෂේත්‍රයේ පවතින අක්‍රමිකතා සහ පාරිසරික ගැටලු මඟහරවා ගැනීම සඳහා 2026 නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය හඳුන්වා දී ඇති බව සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
දැනට ඛනිජ ගවේෂණ බලපත්‍ර 471ක් නිකුත් කර තිබුණද, ඉන් පතල් කැනීම් බලපත්‍ර ලබාගෙන ඇත්තේ 28ක් පමණක් බවත්, සැබෑ ලෙසම කැනීම් කටයුතු සිදු කරන්නේ ආයතන පහක් පමණක් බවත් ඔහු පෙන්වා දුන්නේය. බොහෝ සමාගම් වසර 15-18ක් වැනි දීර්ඝ කාලයක් බලපත්‍ර තමන් සන්තකයේ තබා ගනිමින්, සැබෑ කැනීම් කටයුතුවල නිරත නොවී විදේශීය කොටස් වෙළඳපොළ තුළ තම කොටස්වල අගය වැඩි කර ගැනීමට පමණක් එම බලපත්‍ර භාවිතා කරන බව ඔහු විවේචනය කළේය.
නව ප්‍රතිපත්තිය යටතේ ගවේෂණය, කැනීම, සැකසීම සහ අගය එකතු කිරීම යන සමස්ත ක්‍රියාවලියම කළ හැකි සමාගම්වලට පමණක් අවස්ථාව ලබා දෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය. මීට අමතරව, වැලි සහ බොරලු කැණීමේ කටයුතු විධිමත් කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් යටතේ ක්‍රියාත්මක වන දිස්ත්‍රික් මට්ටමේ කමිටු හරහා එම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
















