මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ද්විත්ව පුරවැසිභාවය දරන්නෙකු බවට සමාජය තුළ මතුව ඇති සැකය දුරු කිරීම සඳහා කරුණු පහකින් යුත් විවෘත ප්‍රශ්නාවලියක් ‘දිනන දකුණ’ සාමූහිකය විසින් ඉදිරිපත් කර තිබේ. මෙය රටේ මූලික නීතිය සහ රාජ්‍ය නිලධාරියෙකුගේ විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්නයක් බව එම සාමූහිකය අවධාරණය කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1) ඈ (xiii) වගන්තිය ප්‍රකාරව ද්විත්ව පුරවැසිභාවය දරන අයෙකුට පවතින නීතිමය බාධාවන් පෙන්වා දෙන එම සාමූහිකය, මෙය බරපතල විෂමාචාර චෝදනාවක් විය හැකි බව පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොරොන්දු වූ පාරදෘශ්‍ය පාලනය තහවුරු කිරීමට නම් මෙම ප්‍රශ්නවලට සාක්ෂි සහිත පිළිතුරු ලබා දීම ලේකම්වරයාගේ වගකීමක් බව ද එම ලිපියේ සඳහන් වේ.
ඉදිරිපත් කර ඇති ප්‍රශ්න පහ
ඔබ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගත් නිශ්චිත දිනය කවදාද?
ඔබ එම පුරවැසිභාවය ඉවත් කරගනු ලැබුවේ නම්, එය සිදුකළ නිශ්චිත දිනය කවදාද?
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අත්හැරීමෙන් පසු නැවත ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගත් දිනය කවදාද?
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන විට ඔබ නිල වශයෙන් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කරගෙන තිබුණේද?
සමාජය තුළ සංසරණය වන 2010-02-03 දිනැති අංක C19090060828 දරන තොරතුර ඔබගේ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවයට අදාළ සත්‍ය අංකයක්ද?
මෙම ප්‍රශ්නාවලියට අදාළ ලිපි ලේඛන හා සාක්ෂි කඩිනමින් රටට හෙළිදරව් කරන ලෙස ‘දිනන දකුණ’ සාමූහිකය මුදල් ලේකම්වරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.














