පසුගිය වසර දෙකක කාලය තුළ මත්පැන් බදු ස්ථාවර ලෙස ඉහළ නොදැමීම හේතුවෙන් මත්පැන් පරිභෝජනය ඉහළ ගොස් ඇති අතර, ඒ හරහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට දැඩි පීඩනයක් එල්ල වී ඇති බව නවතම දත්ත වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.
2023 වසරේදී මත්පැන් බදු සියයට 20 කින් ඉහළ දැමීම හේතුවෙන් මත්පැන් අලෙවිය ලීටර් මිලියන 8.3 කින් පහළ ගිය අතර රජයේ ආදායම රුපියල් බිලියන 11.6 කින් ඉහළ ගොස් තිබේ. 2024 වසර මුලදී සිදුකළ තවත් සියයට 20 ක බදු වැඩිකිරීමක් හේතුවෙන් අලෙවිය තවත් ලීටර් 430,000 කින් අඩු වූ අතර රජයේ ආදායම රුපියල් බිලියන 42.15 කින් ඉහළ ගොස් ඇත.
කෙසේ වෙතත් 2025 වසරේදී බියර් නිෂ්පාදනය සියයට 5 කින් සහ මත්පැන් නිෂ්පාදනය සියයට 17 කින් ඉහළ ගොස් ඇති අතර එය පරිභෝජනය ඉහළ යාමක් ලෙස හඳුනාගෙන තිබේ. 2024 මුල් භාගයේ සිට උද්ධමනයට සාපේක්ෂව බදු සංශෝධනය නොවීම නිසා මත්පැන් මිලදී ගැනීමේ හැකියාව ඉහළ යාම මෙයට හේතුව බව විශේෂඥයෝ පෙන්වා දෙති.
මත්පැන් භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ දිනකට පුද්ගල මරණ 50ක් පමණ සිදුවන අතර එය වසරකට 20,000ක් පමණ වේ. එසේම 2022 වසරේදී මත්පැන් ආශ්‍රිත ආදායම රුපියල් බිලියන 165.2ක් වුවද, ඒ ආශ්‍රිත සෞඛ්‍ය සහ ආර්ථික පිරිවැය රුපියල් බිලියන 237ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
උද්ධමනයට සහ ආදායම් වර්ධනයට සාපේක්ෂව මත්පැන් බදු නිතිපතා සංශෝධනය කළ යුතු බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව මිල පාලනය සහ ප්‍රවර්ධන කටයුතු සීමා කිරීම මඟින් පරිභෝජනය පාලනය කළ යුතු බවත් මෙම වාර්තාව මඟින් අවධාරණය කර ඇත.














