ජාතික ජන බලවේගයට බලය හිමි හැටන් දික්ඔය නගර සභාවේ මාසික සභා රැස්වීම් වාර්තාව සම්මත කරගැනීමට නොහැකි වීම හේතුවෙන්, සභාවේ කටයුතු ලබන 21 වනදා දක්වා කල් තැබීමට සභාපති අසෝක කරුණාරත්න මහතා පියවර ගෙන තිබේ.
ඊයේ (14) පැවැති සභා රැස්වීමේදී පසුගිය මාසික වාර්තාව සභා සම්මතය සඳහා ඉදිරිපත් කළ අවස්ථාවේදී, එහි උප සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එම වාර්තාවේ දෝෂ පවතින බව පෙන්වා දෙමින් විරෝධය පළ කර ඇත. මේ පිළිබඳව මන්ත්‍රීවරුන් 15 දෙනෙකු සහ සභාපතිවරයා අතර පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව, වාර්තාවේ පවතින දෝෂ පිළිබඳව අද (15) දහවල් 12:00ට පෙර ලිඛිතව දැනුම් දෙන ලෙස මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ. ඒ අනුව සභාවේ ඉදිරි කටයුතු ලබන 21 වනදා දක්වා කල් දමා ඇත.















