හැටන් දික්ඔය නගර සභාවේ අද දින පැවති මාසික සභා රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගත් අතර සභාපතිවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පාමින් මන්ත්‍රීවරුන් පිරිසක් කටේ ප්ලාස්ටර් අලවාගෙන සභා ගර්භයෙන් පිටව ගොස් තිබේ. සභාපති අසෝක කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී මතභේදයට තුඩු දුන් ප්‍රධාන කරුණ වූයේ පසුගිය මාසයේ සභා රැස්වීම් වාර්තාවේ පවතින බව කියන දෝෂයන්ය.
ඉකුත් මාර්තු 24 දින පැවති සභා රැස්වීමේ වාර්තාව වැරදි සහගත බවත් එය නිවැරදි කර ලබා දෙන ලෙසත් විපක්ෂ මන්ත්‍රී අලගමුත්තු නන්ද කුමාර් මහතා ඇතුළු පිරිස ඉල්ලා සිටියද සභාපතිවරයා එය ප්‍රතික්ෂේප කළේය. සභාපතිවරයා අවධාරණය කළේ තමන් ලබා දෙන්නේ රැස්වීමේ සාරාංශයක් පමණක් බවත් එය මන්ත්‍රීවරුන් පිළිගත යුතු බවත්ය. සභාවේ අදහස් ප්‍රකාශ කිරීමේදී පැරණි මන්ත්‍රීවරුන් පමණක් වැඩිපුර කතා කරන බවට සභාපතිවරයා කළ ප්‍රකාශයකට විරෝධය පාමින් සුප්පයියා කේසවමූර්ති මන්ත්‍රීවරයා සිය කට ප්ලාස්ටරයකින් වසාගෙන නිහඬ විරෝධතාවයක නිරත විය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකු සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී චුල්ල ජයන්ත ධර්මප්‍රිය මහතා ඇතුළු 10 දෙනෙකු පසුගිය සභා වාර්තාව අනුමත නොවීම නිසා සභා රැස්වීමෙන් පිටව ගියහ. මන්ත්‍රීවරුන් පිරිසක් සභාව වර්ජනය කිරීම හේතුවෙන් ප්‍රදේශයේ සංවර්ධන කටයුතු අඩාල වීමේ අවදානමක් පවතින බව දේශීය ආරංචි මාර්ග පවසයි. මන්ත්‍රීවරුන් බහුතරයක් ඉවත්ව ගියද සභාපතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු පමණක් එක්ව සභා රැස්වීම පවත්වාගෙන ගොස් ඇත.














