හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ ධාවනය වන ලංගම සහ පෞද්ගලික බස් රථ මගී අවශ්‍යතාව මත පදනම්ව ඒකාබද්ධ කාලසටහනකට අනුව ඉදිරි සතියේ සිට ධාවනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර ඇති අතර, ඊට එරෙහිව පෞද්ගලික බස් හිමියන් සිය විරෝධය පළ කර තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී. ඒ. චන්ද්‍රපාල, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සංජීව කණකරත්න සහ මධ්‍යම පළාත මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති අජිත් ප්‍රියන්ත යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් හැටන් දික්ඔය නගර සභා ශාලාවේදී මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇත.
මෙම ඒකාබද්ධ කාලසටහන ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ගිනිගත්හේන සිට නාවලපිටිය දක්වා සහ නාවලපිටිය සිට මහනුවර දක්වා ධාවනය වන බස් රථවලට අසාධාරණයක් සිදුවන බව පවසන පෞද්ගලික බස් හිමියන්, අදාළ මාර්ගයේ නීත්‍යානුකූල නොවන මගී ප්‍රවාහන අවසර පත්‍ර අතැතිව බස් රථ ධාවනය වන බවටද චෝදනා කරමින් විරෝධය පළ කර ඇත.
කෙසේ වෙතත්, රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව සහ මගීන්ගේ අවශ්‍යතාව මත හැටන් – මහනුවර මාර්ගය සඳහා ලංගම සහ පෞද්ගලික බස් රථ නියමිත ගමන්වාර ප්‍රමාණයක් යටතේ මෙම කාලසටහනට ඇතුළත් කර ඇති බවත්, මගීන්ට බාධාවක් නොවන මෙම සේවයට විරුද්ධ වීමට කිසිදු පාර්ශ්වයකට අයිතියක් නොමැති බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසා තිබේ. 2011 වසරේ සිට සාකච්ඡා මට්ටමේ පැවති මෙම ඒකාබද්ධ කාලසටහන වත්මන් රජය යටතේ ක්‍රියාවට නැංවීමට හැකි වූ බව පෙන්වා දී ඇති මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා, ඉදිරියේදී සෑම බස් රථයකම සීසීටීවී කැමරා පද්ධති සහ ගෝලීය පිහිටුම් තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණයන් යොදා ගනිමින් මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වැඩිදුරටත් සඳහන් කර ඇත.














