හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ ධාවනය වන ලංගම (SLTB) සහ පෞද්ගලික බස් රථ මගී අවශ්‍යතාව මත පදනම්ව ඒකාබද්ධ කාලසටහනකට අනුව ඉදිරි සතියේ සිට ධාවනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් හැටන් දික්ඔය නගර සභා ශාලාවේදී පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹ ඇත.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ. චන්ද්‍රපාල මහතා සඳහන් කළේ රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව හැටන් සිට මහනුවර දක්වා ලංගම බස් රථ 32ක් සහ පෞද්ගලික බස් රථ 31ක් ද, මහනුවර සිට හැටන් දක්වා ලංගම බස් රථ 30ක් සහ පෞද්ගලික බස් රථ 30ක් ද ඇතුළුව ගමන්වාර 60 සිට 63 දක්වා මෙම ඒකාබද්ධ කාලසටහනට ඇතුළත් කර ඇති බවයි. 2011 වසරේ සිට සාකච්ඡා මට්ටමින් පමණක් පැවති මෙම වැඩපිළිවෙළ වත්මන් රජය යටතේ ක්‍රියාවට නංවා ඇති අතර, ඉදිරියේදී සෑම බස් රථයකම සීසීටීවී (CCTV) කැමරා පද්ධති, ජීපීඑස් (GPS) තාක්ෂණය සහ අනෙකුත් නවීන තාක්ෂණයන් යොදාගනිමින් මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.














