ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, හරිත කෝපි බෝංචි වර්ග කිරීම, ශ්‍රේණිගත කිරීම සහ තත්ත්ව පාලනය සඳහා වන මෙරට ප්‍රථම කැපකළ කෝපි වියළි මෝල විවෘත කර තිබේ. ‘Damn Fine Coffee සහ ඔස්ට්‍රේලියානු වෙළෙඳපොළ සංවර්ධන පහසුකම ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.
ශ්‍රී ලංකාවට දිගුකාලීන කෝපි වගා ඉතිහාසයක් තිබුණද, අස්වැන්න නෙළීමෙන් පසු සහ අපනයනයට පෙර බෝංචි හැසිරවීම සහ වර්ග කිරීම නිසි පරිදි සිදු නොවීම කර්මාන්තයේ දියුණුවට බාධාවක්ව පැවතුණි. මෙම නවීන වියළි මෝල හරහා හරිත කෝපි මට්ටමේ පවතින අක්රමවත්භාවයන් මඟහරවා ගනිමින්, ජාත්‍යන්තර විශේෂිත කෝපි වෙළෙඳපොළේ අපේක්ෂිත ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදන සකස් කිරීමට දේශීය කර්මාන්තයට හැකි වේ.
මෙහි විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා සඳහන් කළේ, දේශීය සැපයුම් දාමය ශක්තිමත් කිරීමට සහ ශ්‍රී ලංකාවේ කෝපි නිෂ්පාදන ප්‍රිමියම් වෙළෙඳපොළ වෙත රැගෙන යාමට ඔස්ට්‍රේලියාව අඛණ්ඩව සහයෝගය ලබා දෙන බවයි. Damn Fine Coffee හි ප්‍රධාන විධායක නිලධාරී යසස් කොඩිތුවක්කු මහතා පෙන්වා දුන්නේ, තත්ත්ව පාලනය සහ අපනයන ප්රමිතීන් ඉහළ නැංවීම සඳහා මෙම පහසුකම අත්‍යවශ්‍ය පියවරක් වූ බවයි. කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාද මෙම අවස්ථාවට එක්වෙමින් කියා සිටියේ, මෙමඟින් කෝපි වටිනාකම් දාමය සහ වැවිලි සමාගම් මෙන්ම ගොවීන් දිරිගැන්වෙනු ඇති බවයි.














