හැටන් කොටගල නගරයේ පිහිටි විවාහ උත්සව ශාලාවකදී අද (17) පස්වරුවේ ඇති වූ ගැටුමක් පාලනය කිරීමට ගිය දිඹුල පතන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට පහරදීමක් සිදුව තිබේ. මෙම සිදුවීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙකු තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.තලවකැලේ වටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් කොටගල නගරයේ විවාහ මංගල උත්සවයක් පවත්වමින් සිටියදී, බීමත්ව සිටි දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇත. එය සමතයකට පත් කිරීමට මුලින් ගිය පොලිස් නිලධාරීන් දෙදෙනාට එම පිරිස විසින් පහර දී ඇති අතර, පසුව ඔවුන් බේරා ගැනීමට පැමිණි දිඹුල පතන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසටද පහර දී ඇතැයි පොලිසිය පවසයි.පහරදීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගෙන ඇත. තවත් සැකකරුවන් තිදෙනෙකු එම ස්ථානයේ සිටි ප්‍රදේශවාසීන් විසින්ම අල්ලා පොලිසියට භාර දීමට කටයුතු කර තිබේ. ඒ අනුව මේ වන විට සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.මෙම නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් කොටගල නගරයේ දැඩි රථවාහන තදබදයක් ඇති විය. තත්ත්වය පාලනය කර නගරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තලවකැලේ, ළිඳුල සහ නානුඔය පොලිස් ස්ථානවලින් අමතර පොලිස් බලඇණි කැඳවීමට පියවර ගෙන ඇත.















