මීට වසර පහකට පෙර පෑලියගොඩ පොලිස් ස්ථානය තුළදී නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතාට අමානුෂික ලෙස පහරදී වධහිංසා පැමිණවීමේ චෝදනාව සම්බන්ධයෙන්, පෑලියගොඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති ලින්ටන් සිල්වා ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා ගොනු කර තිබේ.
අධිචෝදනා ලැබූ නිලධාරීන්
ලින්ටන් සිල්වා (එවකට පෑලියගොඩ පොලිස් ස්ථානාධිපති)
ජයකොඩි ආරච්චිගේ සුමිත් කුමාර සෝමරත්න
දිසානායක මුදියන්සේලාගේ නදුන් තාරක මධුරංග අබේකෝන්
පාපගොඩ ආරච්චිගේ අතුල විජේසිංහ
2021 පෙබරවාරි 25 වන දින හෝ ඊට ආසන්න දිනයකදී, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයා වන නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතා, එම පොලිසියේ රඳවා සිටි සේවාදායකයකුට ආහාර ලබා දීමට ගිය අවස්ථාවේදී මෙම සිදුවීමට මුහුණ දී තිබුණි. පොලිස් නිලධාරීන් විසින් රඳවා සිටි පුද්ගලයාගෙන් බලහත්කාරයෙන් ප්‍රකාශ ලබා ගැනීමට උත්සාහ කිරීමේදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදු වූ බවට චෝදනා එල්ල වේ.නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය සහ 1994 අංක 22 දරන වධහිංසාවලට එරෙහි සම්මුති පනත යටතේ චෝදනා ගොනු කර ඇත. මේ සම්බන්ධයෙන් මීට පෙර මිගාර ගුණරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනු කර තිබූ අතර, මෙම නඩුව ලබන ජූලි මස 16 වන දින යළි කැඳවීමට නියමිතය.
















