හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ලිදුල, රත්නගිරිය ජනපදය ආසන්නයේ ඇති විශාල යූකැලිප්ටිස් වර්ගයේ ගස් දෙකක් මාර්ගයට කඩා වැටීමේ දැඩි අවදානමක් පවතින බව ප්‍රදේශවාසීන් පවසති.
පසුගිය ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් අදාළ ප්‍රදේශයට විශාල පස්කන්දක් කඩා වැටී තිබූ අතර, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එම පස්කන්ද ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කළ ද, පස්කන්දත් සමඟ නාය ගිය මෙම ගස් දෙක කපා ඉවත් කිරීමට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගය යනු දෙස් විදෙස් සංචාරකයින් බහුලව ගමන් ගන්නා කාර්යබහුල මාර්ගයකි. ඉදිරියේදී ඇති විය හැකි තවත් කුණාටු තත්ත්වයකදී හෝ අධික වර්ෂාවකදී මෙම ගස් දෙක මාර්ගයේ ගමන් ගන්නා වාහනයක් මතට කඩා වැටීමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීන් අනතුරු අඟවයි. එම නිසා, මහා විනාශයක් සිදුවීමට පෙර අදාළ බලධාරීන් මැදිහත් වී මෙම ගස් දෙක කපා ඉවත් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.
















