පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඩෙංගු, මැලේරියාව සහ බරවා වැනි මදුරුවන්ගෙන් බෝවන රෝග පැතිරීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අනාවරණය වූයේ මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 27,754ක් වාර්තා වී ඇති බවත්, ඉන් මරණ 14ක් සිදුව ඇති බවත්ය. වාර්තා වන සමස්ත රෝගීන්ගෙන් සියයට 50ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර සහ නුවර යන දිස්ත්‍රික්කවල රෝග ව්‍යාප්තිය ඉහළ අගයක පවතී.
විශේෂයෙන්ම නිවෙස්වලට වඩා පාසල්, ආගමික ස්ථාන, වැඩබිම් සහ කාර්යාල පරිශ්‍රවල මදුරුවන් බෝවීම ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වී තිබේ. තද උණ, ඇඟපත වේදනාව, හිසරදය, වමනය සහ සමේ රතු ලප වැනි රෝග ලක්ෂණ මතු වන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. 2016 වසරේදී ශ්‍රී ලංකාවෙන් බරවා රෝගය තුරන් කළ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික කර තිබුණද, රෝගය මෙරටින් සම්පූර්ණයෙන් තුරන් වී නොමැති බවත් ආවේක්ෂණ කටයුතු හරහා තවමත් අවම වශයෙන් රෝගීන් හඳුනාගැනෙන බවත් මෙහිදී අනාවරණය විය.
ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ මෝසම් වැසි සමඟ රෝග ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යා හැකි බැවින්, ජනතාව තම වටපිටාවේ මදුරුවන් බෝවන ස්ථාන සොයා බලා ඒවා විනාශ කිරීමට වහාම පියවර ගත යුතු බවයි. මදුරුවන් බෝවීම පාලනය කිරීම මඟින් මෙම රෝග ව්‍යාප්තිය අවම කරගත හැකි බැවින් මහජන සහයෝගය මේ මොහොතේ අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙයි.
















