රටේ ආර්ථිකය බංකොලොත් තත්ත්වයක තිබියදී වත්මන් රජය මූල්‍ය විනය ඉතා ඉහළින් පවත්වාගෙන යාම නිසා ජනාධිපතිවරයා විසින් සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය තරම් ප්‍රතිපාදන ලබා දෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම සංචාරයේදී අනාවරණය වූ සහ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකළ ප්‍රකාශයන් කිහිපයක් පහත දැක්වේ.
මේ වන විට රෝහල්වල ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 2300 දක්වා ඉහළ ගොස් ඇති අතර, අවිධිමත් ලෙස ගොඩනැගිලි ඉදි කිරීම මදුරු කීටයන් බෝ වීමට ප්‍රධාන හේතුව බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රෝහල් අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.
2026 වසර සඳහා නාවලපිටිය මහ රෝහල සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන වෙන් කර ඇත. ඒ යටතේ රෝහලේ බාහිර රෝගී අංශයේ පිළිගැනීමේ කවුළුව සහ වාට්ටු සංකීර්ණ කිහිපයක් ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කර තිබේ.
දික්ඔය සහ ගම්පොළ ඇතුළු අවට රෝහල් සඳහා ප්‍රධාන රෝහලක් ලෙස ක්‍රියාත්මක වන නාවලපිටිය රෝහලට ලබන මස අවසානය වන විට CT ස්කෑන් යන්ත්‍රයක් ලබා දෙන බවට අමාත්‍යවරයා පොරොන්දු විය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුෂාරි ජයසිංහ සහ මංජුල සුරවීරආරච්චි, නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ ජානක සෝමරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
















