මෙරට ස්ථාපිත මූලික රෝහල්වල පවතින අඩුපාඩු සම්පූර්ණ කර රෝගී සත්කාර සේවා වඩාත් විධිමත් කිරීම සඳහා බිලියන 3100ක දැවැන්ත මුදලක් වෙන් කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (04) මොනරාගල, වැල්ලවාය මූලික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි. මධ්‍යම රජය සහ පළාත් සභා යටතේ පාලනය වන රෝහල් පද්ධතියේ පවතින ගැටලු කඩිනමින් විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇත.
මෙම චාරිකාවේදී අමාත්‍යවරයා වැල්ලවාය මූලික රෝහලේ බාහිර රෝගී අංශය, වාට්ටු, හදිසි ප්‍රතිකාර ඒකකය, රසායනාගාරය සහ ලේ බැංකුව ඇතුළු සියලුම අංශ පෞද්ගලිකවම නිරීක්ෂණය කළේය. එහිදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මුහුණ දෙන ගැටලු විමසා බලා, එම මොහොතේම ලබා දිය හැකි කාලීන විසඳුම් ලබා දීමට අමාත්‍යවරයා පියවර ගත්තේය.
බෝනොවන රෝග සම්බන්ධ කාර්ය සාධන බලකාය වඩාත් විධිමත් කර, ඒකකයන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අවශ්‍ය සංශෝධන සිදුකරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. වකුගඩු ගල් සැත්කම් සඳහා පවතින 2000ක පොරොත්තු ලේඛනයට විසඳුමක් ලෙස, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම මස 12 වන දින සිට මීරිගම මූලික රෝහලේදී විශේෂ සැත්කම් මාලාවක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. වැල්ලවාය රෝහල ද මෙවැනි වැඩසටහන් සඳහා යොදා ගැනීමේ හැකියාව සොයා බලන බව අමාත්‍යවරයා පැවසීය. මෙම ආයෝජනය තුළින් මෙරට රජයේ රෝහල් පද්ධතිය ඉහළ පහසුකම්වලින් සමන්විත සේවා ස්ථානයක් බවට පත් කිරීම අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.
















