මහජන සෞඛ්‍ය හෙද ක්ෂේත්‍රය පුළුල් කරමින් එහි පවතින වෘත්තීය ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා සහ සමස්ත ලංකා හෙද සංගමය අතර අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ විය. සාකච්ඡාවේදී අවධානය යොමු වූ ප්‍රධාන කරුණු සහ ඉදිරි සැලසුම් මෙසේය.
මහජන සෞඛ්‍ය හෙද පුහුණුව සඳහා හෙද නිලධාරීන් නිදහස් කිරීමේදී පවතින බාධා ඉවත් කිරීමටත්, පුහුණු කාලසීමාව තුළ අගතියක් නොවන පරිදි ආර්ථික ප්‍රතිලාභ සහතික කිරීමටත් මෙහිදී එකඟතාව පළ විය. එසේම ශ්‍රී ලංකා හෙද ව්‍යවස්ථාවට මහජන සෞඛ්‍ය හෙද සේවාව විධිමත්ව ඇතුළත් කිරීම සහ ක්ෂේත්‍රයේ නිලධාරීන්ට යතුරුපැදි ලබාගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි. මීට අමතරව ‘ආරෝග්‍යා’ මධ්‍යස්ථානවල පවතින ගැටලු නිරාකරණය කර රෝහල් සමඟ සම්බන්ධීකරණය විධිමත් කිරීම ද තවත් ප්‍රධාන සාකච්ඡා මාතෘකාවක් විය.
පසුගිය කාලය තුළ හෙද සේවාවේ උන්නතිය වෙනුවෙන් රජය පියවර රැසක් ගෙන ඇති අතර හෙද සිසුන් 5,103ක් පුහුණුව සඳහා බඳවා ගැනීම ඉන් එකකි. එසේම නව හෙද පත්වීම් 3,441ක් ලබා දී ඇති අතර ඉදිරියේදී තවත් 2,847ක් බඳවා ගැනීමට කටයුතු කරමින් පවතී. දීර්ඝ කාලයක් ප්‍රමාද වී තිබූ හෙද ස්ථාන මාරු ක්‍රියාවලිය විධිමත් කර 2,500කට ආසන්න පිරිසකට සහන සැලසීමට ද අමාත්‍යාංශයට හැකි විය.
හෙද සේවාව වඩාත් ආකර්ෂණීය සහ කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීම රජයේ අරමුණ බවත්, ඒ සඳහා අවශ්‍ය මානව සහ භෞතික සම්පත් කළමනාකරණය කිරීමට උපදෙස් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















