රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල පවතින සෞඛ්‍ය කාර්ය සහායක (කණිෂ්ඨ) III වන ශ්‍රේණියේ පුරප්පාඩු 1,989 ක් පිරවීම සඳහා වන පළමු අදියරේ ව්‍යූහගත සම්මුඛ පරීක්ෂණ (Structured Interviews) අද (21) කොළඹ පිහිටි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී නිල වශයෙන් ආරම්භ කෙරුණා. දීර්ඝ කාලයකට පසු පූර්ණ විනිවිදභාවයකින් යුතුව සියලු පළාත් නියෝජනය වන පරිදි මෙම බඳවාගැනීම් කඩිනමින් සිදු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර, මේ සඳහා අයදුම්පත් 92,000කට අධික ප්‍රමාණයක් ලැබී තිබීම විශේෂත්වයක්.
දැනට සේවක පුරප්පාඩු පවතින කොළඹ, ගම්පහ, මහනුවර, නුවරඑළිය, ගාල්ල, යාපනය, අම්පාර, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් මෙම බඳවාගැනීම් සිදු කෙරේ. ඒ අනුව බස්නාහිර පළාතෙන් සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 2,800ක් අද (21) සහ හෙට (22) යන දිනවලදී අමාත්‍යාංශය වෙත කැඳවා ඇති අතර, ලබන ඉරිදා (24) දින දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේදී සහ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේදී ද මෙම ව්‍යූහගත සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
අමාත්‍යාංශය නිවේදනය කරන පරිදි මෙහි මූලික සුදුසුකම් ලෙස අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයෙන් වාර දෙකකට නොවැඩි ගණනකදී සම්මාන සාමාර්ථ (Credit Passes) 02ක් ඇතුළුව විෂයන් 06ක් සමත්ව තිබීම හෝ අදාළ ක්ෂේත්‍රයක NVQ 3 මට්ටමේ වෘත්තීය සුදුසුකමක් සපුරා තිබීම අවශ්‍ය වේ. එමෙන්ම වයස අවුරුදු 18ත් 45ත් අතර පසුවන, දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට සුදුසු ශාරීරික හා මානසික සෞඛ්‍යයකින් යුත් ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ සඳහා අවස්ථාව හිමිවේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අත්‍යවශ්‍ය වන මෙම බඳවාගැනීම් හරහා රෝහල්වල පවතින දැඩි සේවක හිඟයට කඩිනම් විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.














