2026 ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් චීනයේ ග්වංසි (Guangxi) හි නැන්නින් නගරයේදී අද (21) පැවැත්වුණු ප්‍රධාන තේ දින සමුළුව අමතමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ. වසර 150කට වැඩි දීර්ඝ ඉතිහාසයක් පුරා ‘සිලෝන් ටී’ (Ceylon Tea) සන්නාමය ලෝක ප්‍රජාව අතර ගුණාත්මකභාවය, විශ්වසනීයත්වය සහ අසිරිමත් රසය මැනවින් නිරූපණය කර ඇති බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය. වර්තමානයේ උද්ගතව ඇති ගෝලීය ආර්ථික සහ පාරිසරික අභියෝග රැසක් මධ්‍යයේ වුවද, තේ වගාකරුවන්ගේ යහපැවැත්ම මෙන්ම සදාචාරාත්මක සහ තිරසාර තේ නිෂ්පාදනයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම ජාත්‍යන්තර සමුළුවට සමගාමීව නැන්නින් නගරයේ සංවිධානය කර තිබූ ලොව තේ නිෂ්පාදනය කරන රටවල් රැසකගේ සහභාගිත්වයෙන් යුත් විශේෂ තේ වෙළඳ ප්‍රදර්ශනයක් නැරඹීමට ද අමාත්‍යවරයා එක් විය.
මෙම සුවිශේෂී ගෝලීය හමුව සඳහා කාම්බෝජය, කෙන්යාව, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් නියෝජනය කරමින් තේ කර්මාන්තයේ නියැලි ප්‍රධාන පාර්ශවකරුවන් රැසක් එක්ව සිටියහ. මීට අමතරව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ (FAO) නියෝජිතයන්, චීනයේ ග්වංසි ජුවන්ග් ස්වයංපාලන පළාත් උප ආණ්ඩුකාරතුමා, එම පළාත් ජනතා රජයේ නියෝජ්‍ය මහ ලේකම්තුමා සහ කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු දෙපාර්තමේන්තුවේ පක්ෂ නායකත්ව කණ්ඩායමේ ලේකම්තුමා ඇතුළු චීන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ තේ කර්මාන්තයේ ප්‍රවීණයන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.














