ලොව පුරා පැතිර යන ඉබෝලා වෛරසය සහ මෙරට වාර්තා වන මෙනින්ජයිටීස් රෝගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන් පසුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙනින්ජයිටීස් රෝගය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, රෝගය වාර්තා වූ පළමු දිනයේ සිටම එය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගත් බවයි. පසුගිය දිනවල පැවති දන්සැල්වලදී උණුසුම් දියර වර්ග පමණක් බෙදා දෙන ලෙස උපදෙස් ලබා දුන්නේ ද රෝගය පැතිරීම වැළැක්වීමේ අරමුණින් බව ඔහු සිහිපත් කළේය. දැනට රෝගය යම් මට්ටමකට පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ සමත්ව ඇති නමුත්, තවදුරටත් රෝගය පාලනය කර ගැනීම සඳහා ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය. විශේෂයෙන්ම කුඩා දරුවන් සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඉබෝලා වෛරසය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම තත්ත්වය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කළ දා සිටම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය ඒ පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන බව පැවසීය. ඒ සඳහා අවශ්‍ය සියලුම උපදෙස් සෞඛ්‍ය පද්ධතිය වෙත ලබා දී ඇති අතර, වෛරසය මෙරටට ඇතුළු වීම වැළැක්වීමට සහ ඒ සම්බන්ධයෙන් ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සෞඛ්‍ය අංශ සූදානමින් සිටින බව ඔහු වැඩිදුරටත් තහවුරු කළේය.
















