ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පාලනයකින් තොරව ශීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් රජය බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට මාස 20කට පෙර රජය භාර දෙන විට ඩොලරයක අගය රුපියල් 292ක්ව පැවතිය ද, මේ වන විට එය රුපියල් 354ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම පක්ෂය පෙන්වා දෙයි.
හිටපු ජනාධිපතිවරයා ආරම්භ කළ ආර්ථික වැඩසටහන ඉදිරියට ගෙන යාමට වත්මන් රජය අපොහොසත් වීම මෙම පසුබෑමට ප්‍රධාන හේතුව බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි. පැහැදිලි ආර්ථික සැලැස්මක් නොමැතිකම සහ විදේශ සංචිත ඉහළ නැංවීමට රජයට නොහැකි වීම නිසා ඩොලරයේ අගය මෙසේ වේගයෙන් ඉහළ ගොස් ඇත. රුපියලේ අගය අඛණ්ඩව පහත වැටීම හේතුවෙන් ජනතාවගේ ජීවන වියදම ඉහළ යාම සහ රට තුළ පවතින ආර්ථික පීඩනය පිළිබඳව පෞද්ගලික අංශය ද කනස්සල්ල පළ කර තිබේ.
ඇඟලුම් වැනි අපනයන කර්මාන්තවල ඇතැම් පාර්ශව රුපියලේ අගය පහළ යාම ආර්ථිකයට ධනාත්මක බව පෙන්වීමට උත්සාහ කළ ද, ජාත්‍යන්තර වෙළඳපොළ හැකිලීම සහ නැව්ගත කිරීමේ පිරිවැය ඉහළ යාම වැනි අභියෝග ඔවුන් නොසලකා හරින බව පක්ෂය සඳහන් කරයි. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවරත්වය හේතුවෙන් අපනයන කර්මාන්තය සඳහා පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකි.
එක්සත් ජාතික පක්ෂය සිහිපත් කරන්නේ තමන්ගේ පාලන සමයේ ජේ.ආර්. ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස යන ජනාධිපතිවරුන් යටතේ ජනතාවගේ යහපත උදෙසාම ඇඟලුම් කර්මාන්තය වර්ධනය කළ බවයි. වර්තමාන තත්ත්වය හමුවේ සේවකයින් මුහුණ දෙන දුෂ්කරතා නොසලකා හරිමින් ලාභාංශ පමණක් ඉලක්ක කරගෙන කටයුතු නොකරන ලෙස අපනයනකරුවන්ගෙන් එම පක්ෂය ඉල්ලා සිටී. වර්ධනය වන ආර්ථික දුෂ්කරතාවල බර සේවකයින් මත පැටවීම වැළැක්වීමට වග බලා ගන්නා ලෙස ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.














