මාතර නගරය තුළ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ‘සුවපත් පවුර’ සෝදිසි මෙහෙයුම යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර වල්ගම පිහිටි දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයට එරෙහිව නීතිමය පියවර ගනිමින් රතු නිවේදන නිකුත් කර තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු නිලධාරී කණ්ඩායමක් සිදු කළ සෝදිසියකදී අනාවරණය වී ඇත්තේ, අදාළ පක්ෂ කාර්යාලයට අයත් දේශපාලන ප්‍රචාරක ද්‍රව්‍ය සහ හිස් වතුර බෝතල් විශාල තොගයක් අසල පිහිටි හිස් ඉඩමකට බැහැර කර ඇති බවයි. වැසි සහිත කාලගුණය හේතුවෙන් මෙම ද්‍රව්‍ය තුළ ජලය රැඳී මදුරුවන් බෝවීම සඳහා අවශ්‍ය සාධක සම්පූර්ණව තිබී ඇති අතර, පරීක්ෂණ පවත්වන අවස්ථාවේදී එහි ඩෙංගු මදුරු කීටයන් සහිත තවාන් කිහිපයක්ම නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
මහජන සෞඛ්‍යයට බරපතළ තර්ජනයක් වන පරිදි අක්‍රමවත් ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් වහාම රතු නිවේදන නිකුත් කරමින් නීතිමය පියවර ගෙන ඇත. දින හතක් තුළ අදාළ ස්ථානය පිරිසිදු කරන ලෙස දැනුම් දී ඇති අතර, එසේ නොකළහොත් නඩු පැවරීමට පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කරයි.
මාතර දිස්ත්‍රික්කය තුළ මේ වන විට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 3,000 සීමාව ඉක්මවා යමින් පවතින පසුබිමක, වගකිවයුතු දේශපාලන පාර්ශ්වයන් මෙවැනි ක්‍රියාවල නිරත වීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සිය විරෝධය පළ කර තිබේ. කෙසේ වෙතත්, දේශපාලන තරාතිරම නොබලා වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනතාව සෞඛ්‍ය අංශ වෙත සිය ප්‍රසාදය පළ කර සිටිති.
















