සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමෙන් යුක්රේන යුද්ධයට විරුද්ධ එකම විපක්ෂ දේශපාලන පක්ෂය වන ‘යාබ්ලෝකො’ (Yabloko) පක්ෂය තහනම් කිරීමට එරෙහිව ඉදිරිපත් කළ අපියාචනය රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, එම පක්ෂයේ නියෝජ්‍ය නායකයාට වසර 11කට අධික සිරදඬුවමක්ද නියම කර තිබේ. රුසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමයෙන් ක්ෂය වී යමින් පවතින බවටත්, යුක්රේන යුද්ධයට එරෙහිව නැගෙන හඬ යටපත් කිරීමේ රජයේ උත්සාහයක් බවටත් විපක්ෂ ක්‍රියාකාරීන් මේ වන විට දැඩි චෝදනා එල්ල කරමින් සිටිති.
රොඩිනා නම් ක්‍රෙම්ලිනයට හිතවත් කුඩා ජාතිවාදී පක්ෂයක් විසින් ගොනු කරන ලද නඩුවකට අනුව මෙම තහනම පනවා ඇති අතර, යාබ්ලෝකො පක්ෂය බටහිර රටවල අනුග්‍රහය ලබමින් මැතිවරණ ක්‍රියාවලිය අස්ථාවර කිරීමට උත්සාහ කරන බවට චෝදනා කර තිබුණි. මිලියන සංඛ්‍යාත රුසියානු ජනතාවගේ අදහස් නියෝජනය කරන එකම විකල්පය මෙම තහනම හරහා අහෝසි වී ගොස් ඇති බව පක්ෂය ප්‍රකාශ කර ඇති අතර, මෙයට සමගාමීව පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙව් ෂ්ලොස්බර්ග්ට රුසියානු හමුදාවේ කීර්තිනාමයට හානි කිරීම සහ අසත්‍ය තොරතුරු පැතිරවීම යන චෝදනා යටතේ වසර 11කුත් මාසයක සිරදඬුවමක් නියම කර තිබේ.














