පසුගිය දිනවල මධ්‍යම කඳුකරයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් හැටන් රුවන්පුර ජනපදයේ එළවළු වගා ගොවීන්ගේ අස්වනු නෙළීමට ආසන්නව තිබූ එළවළු වගාවට දැඩි හානි සිදුවී තිබේ.
අමු මිරිස්, නයි මිරිස්, ගෝවා, කැරට්, රාබු සහ මාළු මිරිස් වැනි වගාවන් සාර්ථකව සිදු කරමින් ජීවනෝපාය ගෙන ගිය එම ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ වර්ෂාව නිසා වගාවන් සම්පූර්ණයෙන් විනාශ වී ගොස් ඇති බවයි. යළි පැළ රෝපණය කළද අඛණ්ඩ වැසි හේතුවෙන් ඒවා ද කුණු වී ගොස් ඇති බවත්, වගා භූමිවල පස වැසි ජලයට සේදී ගොස් ඇති බවත් ඔවුහු පෙන්වා දෙති. තමන්ට සිදුව ඇති මෙම ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට රජයේ කිසිදු වගකියුතු නිලධාරියෙක් මෙතෙක් නොපැමිණි බවට ද ගොවීහු චෝදනා කරති.
















