දකුණු අප්‍රිකාවේ ප්‍රධාන විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ ප්‍රබල දේශපාලඥවරියක වන 75 හැවිරිදි හෙලන් සිලේ (Helen Zille), ජොහැන්නස්බර්ග් නුවර කැඩී බිඳී ගිය මාර්ග සහ අසාර්ථක නගර කළමනාකරණය විවේචනය කිරීම සඳහා අපූරු විරෝධතාවක නිරත වී තිබේ. ඇය කිමිදුම් ඇඳුමකින් සහ පිහිනුම් තොප්පියකින් සැරසී නගරයේ මහා මාර්ගයක් මැද නිර්මාණය වී තිබූ යෝධ මඩ වළකට බැස පිහිනීමට කටයුතු කළාය.
ජොහැන්නස්බර්ග් නුවර ඩග්ලස්ඩේල් ප්‍රදේශයේ පුපුරා ගිය ජල නළයක් හේතුවෙන් නිර්මාණය වී තිබූ මෙම යෝධ වළ වසර තුනක පමණ කාලයක සිට බලධාරීන් විසින් නොසලකා හැර තිබුණි. ‘රන් නගරය’ ලෙස හැඳින්වෙන ජොහැන්නස්බර්ග් නුවර පවතින දුර්වල සේවා සැපයීම ලෝකයටම පෙන්වා දීම සඳහා ඇය මෙම මඩ වළ පොදු පිහිනුම් තටාකයක් ලෙස භාවිතා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරියාය. එහිදී ඇය හාස්‍ය මුසු ස්වරූපයෙන් ජලය යට මාළුන් සොයන අයුරු ද දක්නට ලැබුණි.
මෙම වීඩියෝව අන්තර්ජාලය පුරා වේගයෙන් ප්‍රචලිත වීමත් සමඟ ජොහැන්නස්බර්ග් නගරාධිපතිවරයාගේ අවධානය ඒ වෙත යොමු වූ අතර විරෝධතාවෙන් පසුදිනම අදාළ නළය අලුත්වැඩියා කර වළ වසා දැමීමට නගර සභාව පියවර ගත්තේය. කෙසේ වෙතත් විපක්ෂය චෝදනා කරන්නේ අදාළ නළය අලුත්වැඩියා කර සුළු වේලාවකින් එය නැවතත් පුපුරා ගොස් ඇති බවයි. සාමාන්‍ය මහජන පැමිණිල්ලක් හාස්‍යජනක දර්ශනයක් බවට පත් කරමින් ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට හෙලන් සිලේ සමත් වීම දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබේ.














