අඹතලේ සිට කොළොන්නාව දක්වා ජලය බෙදා හරින ප්‍රධාන සැපයුම් නළ මාර්ගයේ ඇති වූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් අත්හිටුවා තිබූ ජල සැපයුම යළි ලබා දීම සඳහා සිදුකළ අලුත්වැඩියා කටයුතු මේ වන විට සාර්ථකව අවසන් කර ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) නිවේදනය කරයි.
ඒ අනුව, ජල කප්පාදුවෙන් පීඩාවට පත්ව සිටි මොරගස්මුල්ල, රාජගිරිය, නාවල, ඔබේසේකරපුර සහ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලට අත්හිටුවා තිබූ ජල සැපයුම අද (05) පස්වරු 06.00 වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කෙරෙනු ඇත. අද පෙරවරුවේ ප්‍රධාන නළ මාර්ගයේ සිදු වූ මෙම හදිසි බිඳ වැටීම හේතුවෙන්, ඉහත ප්‍රදේශවලට අද රාත්‍රී 8.00 දක්වා පැය කිහිපයක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජලසම්පාදන මණ්ඩලය මීට පෙර නිවේදනය කර තිබුණද, සේවකයන්ගේ කඩිනම් මැදිහත්වීම මත නියමිත වේලාවට පෙරම නළ මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට හැකිව තිබේ.
















