ප්ලැටිනම් සහ දියමන්ති 673 කින් සමන්විත, කැරට් 200 කට අධික බරින් යුත් ඓතිහාසික රාජකීය මාලයක්, ඔස්ට්‍රියාවේ වියන්නාහි පිහිටි MAK කෞතුකාගාරයෙන් සොරාගෙන ඇති බව WION News වාර්තා කරයි.
සාමාන්‍ය නැරඹුම්කරුවන් ලෙස ටිකට්පත් ලබාගෙන කෞතුකාගාරයට ඇතුළු වූ සැකකරුවන් දෙදෙනෙකු විසින්, එහි ප්‍රදර්ශනය කර තිබූ වීදුරු ආවරණය මිටියකින් කඩා විනාඩි කිහිපයක් ඇතුළත මෙම සොරකම සිදුකර පලාගොස් ඇත. 1939 වසරේදී ඊජිප්තුවේ නාස්ලි රැජින විසින් පැළඳ සිටි Van Cleef & Arpels මාදිලියේ මෙම මාලය, 2015 වසරේ වෙන්දේසියකදී ඩොලර් මිලියන 4.3 කට අලෙවි වූ අතිශය වටිනා පුරාවස්තුවකි.
යුරෝපයේ ප්රමුඛ පෙළේ කෞතුකාගාර ඉලක්ක කරගනිමින් මෑතකදී සිදුවූ අඛණ්ඩ සොරකම් මාලාවේ නවතම සිදුවීම මෙය වන අතර, ඔස්ට්‍රියානු ආරක්ෂක අංශ විසින් සැකකරුවන් සොයා පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.













