හෝමාගම මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ (ETU) රෝගීන් ඇතුළත් කිරීම සහ ලියාපදිංචිය ඩිජිටල්කරණය කිරීමත්, දුරස්ථ වීඩියෝ සම්මන්ත්‍රණ ක්‍රමවේදය ඔස්සේ (Telemedicine) රෝගීන් පරීක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීමේ නවීන තාක්ෂණික වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) ආරම්භ කෙරිණි.
මෙම නව තාක්ෂණික ක්‍රමවේදය හරහා රෝහල් පිරිවැය සහ වියදම් අවම වීම, සේවක කාර්යක්ෂමතාව ඉහළ යාම, රෝහල් ධාරිතාව සහ ඉඩකඩ උපරිමයෙන් භාවිත කිරීමට හැකිවීම, දත්ත පදනම් කරගත් නිවැරදි තීරණ ගැනීමට හැකිවීම සහ පරීක්ෂණ රෝගී වාර්තා සහ දත්ත හුවමාරුව පහසුවීම වැනි ප්‍රතිලාභ රැසක් රෝහල් කළමනාකරණයට සහ පරිපාලනයට හිමිවේ.
සම්පත් සහ අවශ්‍යතා පිළිබඳ සොයා බැලීම සඳහා රෝහල් කාර්ය මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවේදී, රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා පවතින අවශ්‍යතා පිළිබඳව අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය. විශේෂයෙන්ම රෝහලේ පවතින අවශ්‍යතාවයක් වන මහල් 4කින් යුත් බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදි කිරීම සහ මානව හා භෞතික සම්පත් කළමනාකරණය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාව සඳහා හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර පනාගොඩ, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුසන්ත දොඩාවත්ත, හෝමාගම ප්‍රාදේශීය සභා සභාපති කසුන් රත්නායක යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
















