හෝමාගම පොලිස් සිරමැදිරිය තුළදී මියගිය බවට වාර්තා වූ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා හෝමාගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුට ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
ඒ අනුව, හෙට (29) දිනයේදී අදාළ නිලධාරීන් කැඳවා ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් කොමිෂන් සභාව සිදුකරන විමර්ශනයට අදාළව මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් කිහිපදෙනෙකුගෙන් ද ප්රකාශ සටහන් කරගෙන තිබේ.
මේ අතර, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මගින් සිදුකරන විමර්ශනය යටතේ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් ප්රකාශ ලබාගෙන ඇත.
සිද්ධියට අදාළව හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා, දූෂණ මර්දන වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට ද මීට පෙර පියවර ගෙන තිබුණි.
මියගිය පුද්ගලයාගේ නැගණියගෙන් ද ප්රකාශයක් සටහන් කරගෙන ඇති අතර, ඔහු සමඟ අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තවත් සැකකරුවෙකුගෙන් ප්රකාශයක් ලබාගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.
















