හෝමාගම, දීපංගොඩ අධිවේගී මාර්ගය අසල වෙල්යායක තිබී ජල පහරට හසුව මියගිය බවට සැක කෙරෙන නාදුනන පිරිමි පුද්ගල මළ සිරුරක් මත්තේගොඩ පොලිසිය විසින් සොයාගෙන තිබේ. මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 60ක පමණ පසුවන්නෙකු බවට ගණන් බලා ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය අනාවරණය කළ තොරතුරුවලට අනුව, සිරුර සොයාගන්නා අවස්ථාව වන විටත් දින තුනකට පමණ පෙර මියගොස් තිබීම හේතුවෙන් හඳුනාගත නොහැකි තරමටම නරක් වී තිබී ඇත. එසේම සිරුරේ ස්ථාන කිහිපයක් කඹරයින් වැනි සතුන් විසින් කා දමා තිබූ බව ද පොලිසිය සඳහන් කළේය.
පොලිසියේ මූලික නිගමනය වී ඇත්තේ හෝමාගම දෙස සිට කළුතර දෙසට දිවෙන අධිවේගී මාර්ගය අසල පිහිටි වෙල්යාය මැදින් ගලායන ජල පහරකට හසුව මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි. එලෙස මියගිය පසු සිරුර ජල පහර ඔස්සේ ගසාගෙන විත් මෙම ස්ථානයේ රැඳෙන්නට ඇති බව මූලික විමර්ශනවලදී පෙනී ගොස් තිබේ. මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, අනන්‍යතාව තහවුරු කර ගැනීමට සහ මරණයට නිශ්චිත හේතුව සෙවීම සඳහා මත්තේගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.















