වායු බෑග හදිසියේ සහ අනපේක්ෂිත ලෙස ක්‍රියාත්මක වීමේ දෝෂයක් හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදයේ පවතින සිය වාහන 98,892ක් ආපසු කැඳවීමට හොන්ඩා මෝටර් සමාගම පියවර ගෙන ඇති බව අමෙරිකානු ජාතික මහාමාර්ග රථවාහන ආරක්ෂණ පරිපාලනය (NHTSA) පවසයි.
මෙම කැඳවීමට අදාළව හොන්ඩා ඇකියුරා TLX (Acura TLX), ඇකෝඩ් හයිබ්‍රිඩ් (Accord Hybrid) සහ 2022 ඇකෝඩ් (Accord) මාදිලියේ වාහන කිහිපයක් අයත් වේ.
මෙම ගැටලුවට ප්‍රධාන හේතුව වී ඇත්තේ වාහනයේ ඉදිරිපස මගී ආසනයේ බර සංවේදකයේ (weight sensor) ඇතිවන ඉරිතැලීමක් සහ එහි සිදුවන කෙටි පරිපථයක් (short circuit) බව NHTSA සඳහන් කරයි. මෙම දෝෂය නිසා, සාමාන්‍යයෙන් වායු බෑගයක් ක්‍රියාත්මක නොවිය යුතු අවස්ථාවලදී පවා (උදාහරණයක් ලෙස ළදරු අසුන්වල සිටින ළදරුවන් හෝ කුඩා දරුවන් සිටින විට) වායු බෑගය හදිසියේ ක්‍රියාත්මක වීමේ අවදානමක් පවතී.
මෙම දෝෂය නිවැරදි කිරීම සඳහා හොන්ඩා අලෙවිකරුවන් විසින් අදාළ වාහනවල ඇති දෝෂ සහිත ආසන බර සංවේදක කිසිදු මුදලක් අය නොකර නොමිලේ ප්‍රතිස්ථාපනය කර දෙනු ඇත. මේ දක්වා මෙම දෝෂය සම්බන්ධයෙන් කිසිදු තුවාල වීමක් පිළිබඳව වාර්තා වී නොමැති බව සමාගම තහවුරු කරයි.
















