බුදුදහම යනු සමස්ත ලෝකයටම ප්‍රායෝගික වූත්, සර්වකාලීන වූත් සාමයේ පණිවිඩය රැගෙන ආ ශ්‍රේෂ්ඨතම දාර්ශනික ඉගැන්වීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය වෙසක් පණිවිඩය නිකුත් කරමින් සඳහන් කරයි. ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ සමස්ත ධර්මයම මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව යන සතර බ්‍රහ්ම විහරණයන් මූලික කරගෙන ගොඩනැඟී ඇති බවත්, බාහිර ලෝකයේ සාමය වෙනුවෙන් පුද්ගලයාගේ අභ්‍යන්තර ආධ්‍යාත්මික සාමය තහවුරු විය යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි. මෑතකදී මෙරට පාදයාත්‍රාවේ නිරත වූ වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ විසින් ද ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබුවේ එම පණිවිඩයම බව තමන් විශ්වාස කරන බව ද ජනාධිපතිවරයා පවසයි.
වෙසක් සැමරුම ආගමික උත්සවයක් මෙන්ම වසර දහස් ගණනක් පුරා ශ්‍රී ලාංකේය අනන්‍යතාව, සාමූහිකත්වය සහ කලාත්මක නිර්මාණශීලිත්වය විදහා දක්වන විශිෂ්ට සංස්කෘතික මංගල්‍යයක් ද වන බව එහි සඳහන් වේ. දාන, ශීල, භාවනා මෙන්ම දන්සල්, බොදු බැති ගී, පහන් කූඩු සහ තොරණ ආදී සැරසිලි බෞද්ධයන් පමණක් නොව සියලු ආගම්වලට අයත් ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුවෙන් විචිත්‍රවත් වන බැවින්, වෙසක් සැමරුම සංහිඳියාවේ සංකේතයක් බව ද ජනාධිපතිවරයා කියා සිටී. අවිහිංසාව, දයාව සහ මෛත්‍රිය පෙරදැරි කරගත් සම්බුදු දහමේ හරයන් ජීවිතවලට එක් කරගැනීමට සියලු දෙනාට ආරාධනා කරමින් ජනාධිපතිවරයා වෙසක් ශුභාශිංසන පිරිනමා ඇත.
















