හොරණ මහජන ක්‍රීඩාංගණයේ පැවැති සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණි පිරිසක් විසින් තැන්පත් කරන ලද ආරක්ෂිත හිස්වැසුම් (හෙල්මට්) 500කට ආසන්න ප්‍රමාණයක් එකවර අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
ප්‍රසංගය නැරඹීමට පැමිණි පිරිස සිය යතුරුපැදි හිස්වැසුම් ක්‍රීඩාංගණයෙන් පිටත මුදල් අය කරමින් ඒවා භාරගත් කාන්තාවක වෙත ලබාදී ප්‍රසංගය නැරඹීමට ගොස් ඇත. කෙසේ වෙතත්, ප්‍රසංගය නිමවීමෙන් පසු හිස්වැසුම් ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී එම ස්ථානයේ තිබූ හිස්වැසුම් අතිබහුතරයක් අතුරුදන්ව ඇති බව අනාවරණය වී ඇති අතර, මේ වන විට සිද්ධියට මුහුණ දුන් පුද්ගලයන්ගෙන් පැමිණිලි 70කට අධික සංඛ්‍යාවක් පොලිසිය වෙත ලැබී තිබේ.
සිද්ධියට අදාළව හිස්වැසුම් භාරගෙන තිබූ හොරණ සති පොළේ සේවය කරන කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ප්‍රසංගය අතරතුර මත්පැන් පානය කර සිටි කිසියම් පිරිසක් විසින් මෙම හිස්වැසුම් සොරාගනු ලැබුවේද යන්න සොයා බැලීම සඳහා ආරක්ෂිත කැමරා දර්ශන සහ අනෙකුත් සාක්ෂි ඇසුරෙන් හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
















