මැදපෙරදිග බොරතෙල් නෞකාවක් හෝමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ආසියානු කලාපයට ප්‍රවාහනය කිරීමේ පිරිවැය අතීතයේදී ඉතා අඩු මට්ටමක පැවැතියද, වර්තමානය වන විට එක් බොරතෙල් බැරලයක් වෙනුවෙන් ඩොලර් 10 ක අතිරේක ප්‍රවාහන පිරිවැයක් දැරීමට සිදුව ඇති බව Economic Times සහ Egypt Oil & Gas වාර්තා කරයි.
TotalEnergies සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පැට්‍රික් පුයානේ සඳහන් කරන්නේ, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ඉතා දැවැන්ත බොරතෙල් නෞකාවක් ගමන් කරවීම සඳහා නාවික ගාස්තු සහ රක්ෂණ පිරිවැය ඇතුළුව ඩොලර් මිලියන 20 ක පමණ මුදලක් වැය වන බවයි. මෙය සාමාන්‍ය ගාස්තුව මෙන් 4 ත් 5 ත් අතර අගයක ඉහළ යාමකි.
මෙම අතිරේක පිරිවැය ප්‍රදේශයේ පවතින යුද අවදානම හේතුවෙන් නිර්මාණය වී ඇති එකකි. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 90 න් ඉහළ මට්ටමක පවතිද්දී, පර්සියානු ගුලෆ් කලාපීය නිෂ්පාදකයින් තම බොරතෙල් බැරලයක් ඩොලර් 50-60 ත් අතර අඩු මුදලකට අලෙවි කිරීමට සූදානම්ව සිටින බැවින් මෙම යුද අවදානම් පිරිවැය දරමින් හෝ බොරතෙල් ප්‍රවාහනය සාර්ථකව සිදුකිරීමට වෙළඳුන් කටයුතු කරයි.
කෙසේ වෙතත්, පිරිපහදු කළ පෙට්‍රෝලියම් නිෂ්පාදන සඳහා මෙම ගණනය කිරීම් ප්‍රායෝගික නොවන අතර, කුඩා ප්‍රමාණයේ නෞකාවල ප්‍රවාහන පිරිවැය බැරලයකට ඩොලර් 50 දක්වා ඉහළ යන බැවින් එම පෙට්‍රෝලියම් නිෂ්පාදන නෞකා ගමනාගමනය බොහොමයක් දැනට අත්හිටුවා ඇත.
මෙම අර්බුදකාරී තත්ත්වය මගින් හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වැසී යාම වෙනුවට, ලාභ ලබන පාර්ශවයන් වෙනස් කරමින් ප්‍රවාහන පිරිවැය යන්න තෙල් මිල තීරණය වන ප්‍රධාන සාධකයක් බවට පත්කර තිබේ.














