මධ්‍යම පෙරදිග කලාපය පුරා පවතින රාජ්‍යතාන්ත්‍රික සහ හමුදාමය උණුසුම තවදුරටත් තීව්‍ර වෙමින් පවතින පසුබිමක, හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත නාවික ගමනාගමනයට එල්ල වී ඇති තර්ජන හේතුවෙන් ගෝලීය ආරක්ෂක හා ආර්ථික ක්ෂේත්‍රය තුළ දැඩි අවිනිශ්චිතතාවක් මතුව තිබේ.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කර ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඇමරිකා එක්සත් ජනපදයට අයත් ‘සයිල්ඩ්‍රෝන්’ (Saildrone) වර්ගයේ නියමුවන් රහිත මුහුදු ඩ්‍රෝන යානයකට නාවික ප්‍රහාරයක් එල්ල කර එහි මෙහෙයුම ව්‍යර්ථ කළ බවයි. මීට අමතරව ඕමාන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ යාත්‍රා දෙකකට ප්‍රහාර එල්ල වී ඇති බව එක්සත් රාජධානියේ සාගර වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානයද තහවුරු කර තිබේ.
පවතින උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා සංඛ්‍යාව දිනකට 7ක් දක්වා පහත වැටී ඇති අතර, එය සාමාන්‍ය දෛනික අගය වන 15ට වඩා අඩු මට්ටමකි. ලෝකයේ වැදගත්ම බලශක්ති ප්‍රවාහන මාර්ගයක් ලෙස සැලකෙන මෙම සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයට බාධා ඇතිවීමේ අවදානම ගෝලීය බලශක්ති වෙළෙඳපොළ තුළ දැඩි අවධානයක් ඇති කිරීමට හේතු වී තිබේ.
මේ අතර, කොපර්නිකස් චන්ද්‍රිකා ඡායාරූප මඟින් ඉරාන වෙරළට කිලෝමීටර් 20ක් පමණ ඔබ්බෙන් මුහුදේ තෙල් පැල්ලම් මතුව ඇති බව අනාවරණය වී ඇති අතර, එය ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට සම්බන්ධ බවට සැක කෙරෙන තෙල් නෞකා වෙත ඇමරිකාව එල්ල කළ ප්‍රහාරවල ප්‍රතිඵලයක් විය හැකි බවට සැලකේ.
මෙවැනි පසුබිමක් තුළ සාගරික වෙළඳ මාර්ග අවහිර වීම සහ බලශක්ති සැපයුම් අඩාල වීමේ අවදානම හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිලද ඉහළ ගොස් තිබේ. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 108.68ක් දක්වාත්, ඇමරිකානු WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 103.45ක් දක්වාත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මේ අතර, යේමනයේ හූති කැරලිකරුවන් විසින් උපායමාර්ගික වැදගත්කමකින් යුත් ‘මෝකා’ වරාය නගරය අත්පත් කර ගැනීමත් සමඟ යේමනය තුළ විශාල පරිමාණයේ යුද තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත හාන්ස් ග්‍රන්ඩ්බර්ග් අනතුරු අඟවා තිබේ. පසුගිය සැප්තැම්බර් 3 වැනිදා සිට මේ දක්වා යේමන පවුල් 11,400කට අධික සංඛ්‍යාවක් අවතැන් වී ඇති බවද වාර්තා වේ.
යේමනයේ හූති සංවිධානය විසින් බබ් අල්-මන්ඩෙබ් සමුද්‍ර සන්ධියට එල්ල කරන තර්ජන හමුවේ ඇමරිකානු හමුදා බලඇණි දැඩි පීඩනයකට ලක්විය හැකි බවත්, එම තර්ජනය වැළැක්වීමට ඇමරිකාව සතු හැකියාව සීමිත බවත් ඇල්ජීරියාවේ හිටපු ඇමරිකානු තානාපති හෙන්රි එන්ෂර් පෙන්වා දී තිබේ.
කලාපයේ තත්ත්වය පාලනය කිරීම සඳහා යේමනය සහ සෞදි අරාබිය සමඟ අඛණ්ඩව සාකච්ඡා පවත්වමින් කලාපීය ස්ථාවරත්වය ඇති කිරීමට අදාළ රජයන් බලගන්වන බව ඇමරිකානු පරිපාලන නිලධාරීන් ප්‍රකාශ කළද, ඇමරිකාව සෘජු සම්පත් කැපකිරීමෙන් වැළකී සිටින බවක් පෙනී යන බවද වාර්තා වේ.
මේ අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙන යන ඉරාන විරෝධී යුද ක්‍රියාමාර්ග දැඩි විවේචනයට ලක් කරමින් ඩිමොක්‍රටික් සෙනෙට් සභික එඩ් මාකී ප්‍රකාශ කර ඇත්තේ මෙම යුද ක්‍රියාමාර්ගය ජයගත නොහැකි එකක් බවත්, එය දීර්ඝ කාලයක් පුරා ඇදී යා හැකි බවත්ය.
ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ යේමනයේ ස්වාධීනත්වයට සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කරමින් එහි පවතින නීති විරෝධී වටලෑම අවසන් කිරීම සමස්ත කලාපීය ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය බවයි.
මෙම උණුසුම්කාරී තත්ත්වය අතරතුර ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනය (IAEA) විසින් වසර 20කට පසු ප්‍රථම වරට ඉරානයට එරෙහිව යෝජනාවක් සම්මත කර ඇති අතර, පරමාණුක ආයුධ නොපැතිරවීමේ ගිවිසුම (NPT) යටතේ ඉරානය සිය වගකීම් පැහැර හැර ඇති බවට චෝදනා කරමින් එම කරුණ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යොමු කිරීමට පියවර ගෙන තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන තානාපති ගොලාම්හොසේන් දාර්සි එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඉරානයේ සාමකාමී න්‍යෂ්ටික වැඩසටහනට එරෙහිව එල්ල වන චෝදනා තාක්ෂණික කරුණකට වඩා දේශපාලනික අරමුණු සහිත ඒවා බවයි.
කලාපයේ අනෙක් පසින් දකුණු ලෙබනනයේ මන්සූරි, මජ්ඩාල් සූන් සහ නබාතියේ ඇතුළු ප්‍රදේශ රැසකට ඊශ්‍රායලය ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාර එල්ල කර ඇති අතර, අලි අල්-තාහෙර් කඳුවැටියේ පිහිටි හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධාන උමං මාර්ග ජාලයක් විනාශ කළ බවට ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබේ.
මීට අමතරව නිරිතදිග සිරියාවේ අල්-හාමිදියා ප්‍රදේශයට ඇතුළු වූ ඊශ්‍රායල හමුදා තරුණයෙකු පැහැරගෙන ගොස් ඇති බවට වාර්තා වන අතර, බටහිර ඉවුරේ බෙත්ලෙහෙම, නබ්ලස් සහ හෙබ්‍රොන් වැනි ප්‍රදේශවල පලස්තීනුවන් අත්අඩංගුවට ගැනීම් සහ නිවාස විනාශ කිරීම්ද අඛණ්ඩව සිදුවන බව සඳහන් වේ.
මේ සියල්ල අතර හෝමුස් සහ බබ් අල්-මන්ඩෙබ් වැනි ලෝකයේ ප්‍රධාන නාවික මාර්ග ආශ්‍රිතව පවතින තර්ජන තවදුරටත් ඉහළ ගියහොත් එහි බලපෑම මධ්‍යම පෙරදිග කලාපයට පමණක් සීමා නොවී ගෝලීය ආර්ථිකයටද දැඩි ලෙස දැනිය හැකිය. විශේෂයෙන්ම බලශක්ති සැපයුම් මාර්ගවලට බාධා එල්ල වීමත් සමඟ තෙල් මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින අතර, එය ලෝක වෙළෙඳපොළ සහ පාරිභෝගිකයන් කෙරෙහිද බලපෑම් ඇති කළ හැකිය.
ඒ අනුව මධ්‍යම පෙරදිග කලාපය තුළ වේගයෙන් වෙනස් වෙමින් පවතින මෙම යුද හා රාජ්‍යතාන්ත්‍රික තත්ත්වය ඉදිරියේදී කුමන ආකාරයකට වර්ධනය වේද යන්න පිළිබඳව ලෝකයේ අවධානය දැඩිව යොමුව තිබේ.
















