ඉතාලි ජනරජ දිනය සැමරීම සඳහා පැවැත්වූ රාත්‍රී පෙරහුරුවකදී, ගමනාගමන පොලිස් නිලධාරියෙකු විසින් අවසරයකින් තොරව ගිනිකෙළි කට්ටලයක් දැල්වීම හේතුවෙන් අශ්වයන් පිරිසක් බිය වී රෝමයේ වීදි ඔස්සේ පලා ගොස් තිබේ.
සිකුරාදා රාත්‍රී 11:30 ට පමණ සිදු වූ මෙම අනපේක්ෂිත ශබ්දය හේතුවෙන්, ගමන් කරමින් සිටි අශ්වයන් 35ක් පමණ බිය වී කාර්යබහුල Via Cristoforo Colombo මාර්ගය ඔස්සේ පලා ගොස් ඇත. සමහර අශ්වයන් පිටේ පැදිකරුවන් සිටි අතර, අනෙක් අශ්වයන් අතින් මෙහෙයවමින් සිට ඇත. සිදුවූ අනතුරුවලින් අශ්වයන් 15ක් පමණ තුවාල ලබා ඇති අතර, අශ්වයන් පිට සිටි කිහිප දෙනෙකු බිම වැටීමෙන් තුවාල ලබා ඇත. එහිදී 22 හැවිරිදි සොල්දාදුවෙකුගේ ඉළ ඇට කැඩී පෙනහළුවකට හානි සිදුවුවද, ඔහු ජීවිත තර්ජනයක් නොමැති තත්ත්වයේ පසුවන බව වාර්තා වේ. පලා ගිය අවසන් අශ්වයා සෙනසුරාදා අලුයම එම ස්ථානයේ සිට කිලෝමීටර් 14ක් දුරින් සොයාගෙන ඇත. මෙම ගිනිකෙළි අශ්වයන් සිටි ස්ථානයේ සිට මීටර් 200ක් පමණ දුරින් අසල තිබූ පැරණි Baths of Caracalla අසල දල්වා ඇති අතර, මෙය පොලිස් බලකායේ කීර්තිනාමයට හානි කරන්නක් බව රෝම පොලිස්පති මාරියෝ ඩි ස්ක්ලාවිස් මහතා පවසා ඇත.
















