හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දැනට පසුවන අසනීප තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන්වල නිරත වීමෙන් වළකින ලෙස වෛද්‍යවරුන් උපදෙස් ලබා දී ඇති බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි. ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අනාවරණය කළේය.
පවතින බරපතළ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් කිසිදු ගුවන් සමාගමක් බැසිල් රාජපක්ෂ මහතාගේ ගමන් බිමන් සම්බන්ධයෙන් වගකීමක් භාර ගැනීමට සූදානම් නොමැති බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. පැය ගණනාවක් පුරා දිවෙන දීර්ඝ ගුවන් ගමන් සඳහා සහභාගී වීමට පවතින සෞඛ්‍යමය නොහැකියාව වෛද්‍ය වාර්තා මඟින් මනාව පැහැදිලි කර ඇතැයි ඔහු සඳහන් කළේය. බැසිල් රාජපක්ෂ මහතා නියමිත පරිදි අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට වරෙන්තු නිකුත් කිරීම පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, යම් පුද්ගලයෙකු නියමිත පරිදි අධිකරණයට ඉදිරිපත් නොවන අවස්ථාවලදී වරෙන්තු නිකුත් කිරීම සාමාන්‍ය නීතිමය ක්‍රියාවලියක් බව ඔහු පෙන්වා දුන්නේය. රෝගී තත්ත්වයෙන් සුවය ලැබූ සැනින් ඒ මහතා යළි දිවයිනට පැමිණීමට සූදානමින් පසුවන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















