27 April 2024
#දේශීය

විගමනික ශ්‍රමිකයින් කඩිනමින් ගෙන්වා ගැනීමට හෝටල් වෙන් කර ගැනීම අරඹයි – ඇමැති නිමල්

covid 19 වසංගත තත්ත්වය මත මැද පෙරදිග ඇතුළු විදේශයන් හි විවිධ රැකියාවන් හි නිරත විගමණික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ඉතා කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

එම ගෙන්වන පිරිස සඳහා නිරෝධායන මධ්‍යස්ථාන පහසුකම් නොමිලේ ලබාදීම සඳහා පෞද්ගලික හෝටල් හා සංචාරක නිකේතන ද සම්බන්ධ කරගනිමින් ක්‍රමවේදයක් සකස් කරන ලෙස අමාත්‍යවරයා විසින් පසුගිය දා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් දෙන ලදි.

එම උපදෙස් හා මගපෙන්වීම යටතේ පෞද්ගලික අංශයේ සංචාරක හෝටල් හා නිකේතන දහයක්(10) එකී නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා ජාතික කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ අනුමැතිය සහිතව තෝරාගෙන ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඒ අනුව වැලිගම ජගාබේ රිසෝර්ට්, පැරඩයිස් බීච් සහ නෙප්චූන් රිසෝර්ට්,හික්කඩුව හික්කා එෆ්.එන්.ආර් සහ කොරල් රීෆ් ගෙස්ට්,වාද්දුව බ්ලූ ස්ප්‍රින්ග්,දික්වැල්ල විලා ජයනන්ද,මීගමුව කැටමරාන්,අහංගම ජයන්ති සර්ෆ් සහ තංගල්ල සැන්ටන් රිසෝර්ටි යන හෝටල් සහ නිවාඩු නිකේතන මේ විගමනික ශ්‍රමික නිරෝධායන මධ්‍යස්ථාන සඳහා තෝරාගෙන ඇත.

මෙම හෝටල් දහය(10) මගින් එක් වරකට (571) පන්සිය හැත්තෑ එක් දෙනෙකුට නිරෝධායන පහසුකම් සැපයිය හැකි වේ.

මෙහි දී හෝටල් ගාස්තු, ආහාර පාන සහ සෙසු සියලු පහසුකම් සම්පාදනය කරනු ලබන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගිනි.

මේ නිරෝධායන පහසුකම් සැපයීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතියකට රුපියල් මිලියන 18 ක් වැය කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.ඒ අනුව එක් පුද්ගලයෙකු මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුළ රැඳවීම සඳහා එක් දිනකට රුපියල් 4500 ක මුදලක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැය කරයි.එක් පුද්ගලයෙකු මෙම මධ්‍යස්ථානය තුළ සතියක පමණ කාලයක් රඳවා ගනු ලබයි.

ඒ අනුව මේ වන විට විදේශ රටවල රැකියා සඳහා ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකේය ශ්‍රමිකයන් මේ පිළිබඳ දැනුවත් කර,ඔවුන් කණ්ඩායම් වශයෙන් මෙකී නිරෝධායන මධ්‍යස්ථාන සඳහා යොමු කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සාමාන්‍යාධිකාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ විදේශ තානාපති කාර්යාල දැනුවත් කර ඇතැයි අමාත්‍යවරයා පවසයි.

මෙම ව්‍යාපෘතියේ සාර්ථකභාවය පිළිබඳ පසු විපරම් කිරීමෙන් අනතුරුව අනෙක් නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් දී ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *