හෝමූස් සමුද්‍ර සන්ධියටත් වඩා බැබ් එල්-මන්ඩෙබ් සමුද්‍ර සන්ධියේ පාලනය යේමනයේ හූති කැරලිකරුවන් සතුව පැවතීම අතිශය උපායමාර්ගික අනතුරක් බව ඊශ්‍රායල උසස් නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ. ඊශ්‍රායලයේ ‘චැනල් 12’ පුවත් සේවය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ, බැබ් එල්-මන්ඩෙබ් සමුද්‍ර සන්ධිය භූගෝලීය වශයෙන් අතිශයින්ම පටු සීමාවක් වීම මෙයට ප්‍රධාන හේතුව වී ඇති බවයි.
විශේෂයෙන්ම පෙරිම් දූපත පසුකර වැටී ඇති නැගෙනහිර නාවික මාර්ගයේ පළල කිලෝමීටර් 3 ක් (හැතැප්ම 2 කටත් අඩු) වැනි ඉතා පටු සීමාවක් බව වාර්තා වේ. මෙම අතිශය පටු භූගෝලීය පිහිටීම නිසා එම මාර්ගයේ ගමන් කරන වෙළඳ සහ නාවික නෞකා, දූපතේ සිටින සටන්කාමීන්ට සෘජුවම සිය ඇසින් දැකගත හැකි තරම් ආසන්නයෙන් ගමන් කිරීමට සිදුවන බව ද ඔහු පෙන්වා දෙයි.
මෙම අතිශය පටු ස්වාභාවික පිහිටීම හමුදාමය වශයෙන් සහ ප්‍රහාරක ඩ්‍රෝන මෙන්ම මිසයිල ඉලක්ක කරගැනීම සඳහා හූති සටන්කාමීන්ට දැවැන්ත වාසියක් අත්කර දී ඇති අතර, ඒ හේතුවෙන් ජාත්‍යන්තර නාවික ගමනාගමනයට එල්ල වී ඇති තර්ජනය තවදුරටත් දැඩි වී ඇති බව විදේශීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
















