මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුධමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයන් සහිත රටවල් බොරතෙල් බැරලයක් සඳහා ඇමරිකානු ඩොලර් 286ක් තරම් ඉහළ මිලක් ගෙවා ඇති බවට HSBC බැංකු සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජ් එල්හෙඩරි (Georges Elhedery) මහතා ප්‍රකාශ කර තිබේ. හොංකොං හි පැවැති ආයෝජන සමුළුවකදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දී ඇත්තේ, ලෝක වෙළඳපොළේ පවතින සාමාන්‍ය බොරතෙල් මිල (Benchmark prices) ආසියානු කලාපයේ රටවල් මුහුණ දෙන සැබෑ මිල පරතරය පිළිබිඹු නොකරන බවයි. විශේෂයෙන්ම රක්ෂණ ගාස්තු, නැව් ගාස්තු සහ තෙල් සැපයුමේ පවතින හිඟතාවය හේතුවෙන් සැබෑ පිරිවැය මෙලෙස අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව ඔහු අවධාරණය කරයි.
ඇමරිකානු – ඊශ්‍රායල සහ ඉරාන ගැටුම් හේතුවෙන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා සිදුවන තෙල් ප්‍රවාහයට බාධා එල්ල වීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වී තිබේ. ඉරානය විසින් මෙම සමුද්‍ර සන්ධියේ පාලනය නතු කර ගැනීම සහ ඇමරිකාව විසින් පනවා ඇති අවහිරතා හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගියද, ප්‍රායෝගිකව තෙල් මිලදී ගැනීමේදී ආසියානු ගැනුම්කරුවන්ට ඩොලර් 140 සිට 150 දක්වා මිලක් ගෙවීමට සිදුව ඇත. මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ඩොලර් 286ක මිල ඉතිහාසයේ වාර්තා වූ ඉහළම මිලක් ලෙස සැලකේ.
මෙම අධික පිරිවැය හමුවේ මෙරට තුළ ඉන්ධන මිල ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින අතර, පසුගිය මාර්තු මාසයේදී ද රජය විසින් ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගෙන තිබුණි. ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව වැනි ආනයන මත යැපෙන රටවල විදේශ විනිමය සංචිතවලට මෙය දැඩි බලපෑමක් එල්ල කරන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. පවතින තත්ත්වය හමුවේ ඉන්ධන පරිභෝජනය සීමා කිරීම සහ බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කර ගැනීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග වෙත යොමු වීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කෙරේ.














