දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ HSBC බැංකුවේ පාරිභෝගික බැංකු කටයුතු (Retail Banking) 2026 අප්‍රේල් 30 වන දිනෙන් නිල වශයෙන් අවසන් වේ. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (Nations Trust Bank) විසින් මෙම අංශය අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමත් සමඟ මෙම වෙනස සිදුවනු ඇත.
2026 මැයි 1 වනදා සිට HSBC සතුව සිටි දළ වශයෙන් 200,000කට අධික ගනුදෙනුකරුවන් පිරිසක් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ගනුදෙනුකරුවන් බවට පත්වේ. මෙයට HSBC Premier පාරිභෝගිකයන්, ක්‍රෙඩිට් කාඩ්පත් සහ පෞද්ගලික ණය ලබාගෙන සිටින පිරිස් ඇතුළත් වේ.
අප්‍රේල් 30 සවස 3:00 ට HSBC බැංකු ශාඛා සහ ATM යන්ත්‍ර සියල්ල ස්ථිරවම වසා දැමීමට නියමිතය. එසේම, HSBC අන්තර්ජාල බැංකුකරණ සේවා, ජංගම බැංකුකරණ යෙදුම් (Mobile Banking) සහ කාඩ්පත් ගනුදෙනු අද පස්වරු 7:00 දක්වා පමණක් ක්‍රියාත්මක වන අතර ඉන්පසු ඒවා අක්‍රීය වනු ඇත. HSBC ශ්‍රී ලංකා නිල ෆේස්බුක් පිටුව ද අදින් පසු ක්‍රියාත්මක නොවේ.
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ HSBC අතර මේ සම්බන්ධ මූලික ගිවිසුම 2025 සැප්තැම්බර් මාසයේදී අත්සන් කෙරුණු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය 2025 දෙසැම්බර් මාසයේදී හිමි විය. මෙම අත්පත් කර ගැනීම හරහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ පාරිභෝගික පදනම සහ වෙළඳපොළ කොටස සැලකිය යුතු ලෙස පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














