2026 මැයි දින සැමරුම් වෙනුවෙන් දිවයිනේ ප්‍රධාන දේශපාලන පක්ෂ සූදානම් වෙමින් සිටියද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සහ එක්සත් ජාතික පක්ෂය (එජාපය) මෙවර ප්‍රධාන පෙළේ මැයි රැළි හෝ පෙළපාලි නොපැවැත්වීමට තීරණය කර ඇත.
පවතින දේශපාලන තත්ත්වය මත මෙම පක්ෂ දෙකම දැවැන්ත ජන රැළි වෙනුවට පක්ෂ මූලස්ථාන කේන්ද්‍ර කරගත් සැමරුම් හෝ කුඩා ප්‍රමාණයේ සම්මන්ත්‍රණවලට පමණක් සීමා වනු ඇති බව වාර්තා වේ.
ජාතික ජන බලවේගය (NPP)
ජාතික ජන බලවේගය මෙවර නගර හතරක් කේන්ද්‍ර කරගනිමින් සිය මැයි දින බලය පෙන්වීමට සූදානම් වේ. ඒ අනුව කොළඹ, අනුරාධපුරය, මාතර සහ යාපනය යන නගරවලදී ඔවුන්ගේ ප්‍රධාන රැළි පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සමගි ජන බලවේගය (SJB)
සමගි ජන බලවේගය සිය ප්‍රධාන මැයි දින රැලිය සහ පෙළපාලිය කොළඹ නගරයේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පාක්ෂිකයන් කැඳවීමට දැනටමත් සැලසුම් කර තිබේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රමුඛ වෘත්තීය සමිති එකමුතුව කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී සිය මැයි දින සැමරුම පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
මැයි දින රැළි හේතුවෙන් කොළඹ නගරය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන අතර, ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දස දහසකට අධික පිරිසක් යෙදවීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.














