PHP මෘදුකාංගය භාවිතයෙන් සංවර්ධනය කර ඇති වෙබ් අඩවි සහ වෙබ් යෙදුම්වල හඳුනාගෙන ඇති බරපතළ ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ඩිජිටල් ආර්ථික අමාත්යාංශය සියලු රාජ්ය ආයතන වෙත දැනුම් දී තිබේ.
අමාත්යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්රධානීන්, පළාත් සභා, කොමිෂන් සභා, ව්යවස්ථාපිත ආයතන සහ රාජ්ය සමාගම් වෙත නිකුත් කළ චක්රලේඛයක් මඟින් මෙම උපදෙස් ලබාදී ඇත. අදාළ ආරක්ෂක දුර්වලතා හේතුවෙන් අනවසර ප්රවේශයන්, දත්ත සොරකම් සහ පද්ධති ක්රියාකාරිත්වයට බාධා ඇතිවීමේ අවදානමක් පවතින බව ද එහි සඳහන් වේ.
අමාත්යාංශ ලේකම් වරුණ ශ්රී ධනපාල මහතාගේ අත්සනින් නිකුත් කළ MODE/2026/03 අංක දරන චක්රලේඛයේ CVE-2026-109618 සහ CVE-2026-109619 යන ආරක්ෂක දුර්වලතා දෙකක් පිළිබඳව සඳහන් කර තිබේ.
ඒ අනුව, PHP භාවිත කරන සියලු පද්ධති සහ වෙබ් යෙදුම් හඳුනාගෙන ඒවායේ මෘදුකාංග අනුවාද පරීක්ෂා කර අදාළ ආරක්ෂක යාවත්කාලීන කිරීම් වහාම ස්ථාපනය කරන ලෙස රාජ්ය ආයතනවලට උපදෙස් දී ඇත. සැකසහිත ක්රියාකාරකම් හඳුනාගැනීම සඳහා පද්ධති වාර්තා පරීක්ෂා කරන ලෙසත්, වහාම යාවත්කාලීන කළ නොහැකි ඉහළ අවදානම් සහිත පද්ධතිවල අන්තර්ජාල ප්රවේශය සීමා කරන ලෙසත් දැනුම් දී තිබේ.
මෙම ආරක්ෂක දුර්වලතා හඳුනාගැනීම සඳහා GovTech Sri Lanka ආයතනය විසින් මෙවලමක් සකස් කර ඇති අතර, එය www.govtech.lk/cvesecure වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය. තාක්ෂණික සහාය සඳහා ශ්රී ලංකා CERT ආයතනය සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන ලෙස ද උපදෙස් ලබාදී ඇත.
රාජ්ය ඩිජිටල් යටිතල පහසුකම්වලට ඇතිවිය හැකි සයිබර් ආරක්ෂණ අවදානම් අවම කිරීම සඳහා මෙම වැළැක්වීමේ පියවර කඩිනමින් ක්රියාත්මක කිරීමේ අවශ්යතාව අමාත්යාංශය අවධාරණය කර තිබේ.












