සෙනසුරාදා (අද) පැවැත්වෙන සුපිරි චැම්පියන්ෂිප් ප්ලේ-ඕෆ් (Championship Play-off) අවසන් මහා තරගයෙන් මිඩ්ල්ස්බ්‍රෝ (Middlesbrough) කණ්ඩායම හමුවේ සිය කණ්ඩායම පරාජයට පත් වුවහොත්, ඊට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිමය පියවර ගන්නා බව හල් සිටි කණ්ඩායමේ හිමිකරු අකුන් ඉලිකාලි (Acun Ilicali) තරයේ ප්‍රකාශ කර සිටියි.
මෙම දැඩි තීරණයට හේතු වී ඇත්තේ මීට පෙර පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් මිඩ්ල්ස්බ්‍රෝ කණ්ඩායම සවුත්හැම්ප්ටන් (Southampton) කණ්ඩායම හමුවේ පරාජය වී තිබියදීත්, ඔවුන්ව නැවත තරගාවලියට ඇතුළත් කිරීමට බලධාරීන් පියවර ගැනීමයි. සවුත්හැම්ප්ටන් කණ්ඩායම විසින් මිඩ්ල්ස්බ්‍රෝ කණ්ඩායමේ පුහුණු සැසි රහසිගතව නිරීක්ෂණය කළ බවට (Spying) එල්ල වූ චෝදනා පිළිගැනීමෙන් අනතුරුව ඔවුන්ව තරගාවලියෙන් ඉවත් කර, ඒ වෙනුවට මිඩ්ල්ස්බ්‍රෝ කණ්ඩායමට අවසන් මහා තරගයේ අවස්ථාව ලබා දී තිබුණි.
වේම්බ්ලි (Wembley) ක්‍රීඩාංගණයෙන් පිටතදී BBC ගුවන් විදුලිය අමතමින් හල් සිටි හිමිකරු කියා සිටියේ, සිය නීතිඥ කණ්ඩායම දැනටමත් මේ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි. පාපන්දු ක්‍රීඩාව තුළ සැමට සාධාරණය ඉටුවිය යුතු බවත්, යුක්තිය බිඳවැටුණහොත් කිසිවෙකුටත් පාපන්දු ක්‍රීඩාව රසවිඳිය නොහැකි වනු ඇති බවත් පවසන ඔහු, තමන් මේ සටන් කරන්නේ යුක්තිය වෙනුවෙන් පමණක් බව අවධාරණය කළේය.














