ලොව පුරා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් ‘Paramount+’ නාලිකාවේ ‘Mobland’ අපරාධ ගවේෂණ ටෙලි මාලාවේ (Crime Drama Series) ඉදිරියට නිකුත් වීමට නියමිත තුන්වැනි කථාංගය (Season 3) සඳහා සුපිරි හොලිවුඩ් නළු ටොම් හාඩි (Tom Hardy) දායක නොවන බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි. මෙම ටෙලි මාලාවේ දෙවැනි කථාංගයේ රූගත කිරීම් පසුගිය මාර්තු මාසයේදී සම්පූර්ණයෙන්ම නිමවා ඇති පසුබිමක මෙම හදිසි තීරණය ගෙන ඇත.
විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ ටෙලි මාලාවේ ප්‍රධාන විධායක නිෂ්පාදක ජෙස් බටර්වර්ත් (Jez Butterworth) සහ එහි නිෂ්පාදන ආයතනයක් වන ‘101 Studios’ හි බලධාරීන් සමඟ රූගත කිරීම් සිදුවන ස්ථානයේදී (Onset) ටොම් හාඩි ඇති කරගත් බහින්බස්වීම් සහ විනය විරෝධී හැසිරීම් හේතුවෙන් ඔහුව මීළඟ කථාංගයට සම්බන්ධ කර නොගැනීමට තීරණය කර ඇති බවයි. කෙසේ වුවද, ‘Mobland’ තුන්වැනි කථාංගය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති වුවත්, එහි පවතින ඉහළ ජනප්‍රියත්වය හේතුවෙන් එය අනිවාර්යයෙන්ම නිර්මාණය වනු ඇතැයි විචාරකයෝ පවසති. නමුත් ටොම් හාඩි නිරූපණය කළ චරිතය මෙයින් ඉවත් කරන්නේ කෙසේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
රොනන් බෙනට් (Ronan Bennett) විසින් නිර්මාණය කරන ලද මෙම ටෙලි මාලාව තුළ ටොම් හාඩි විසින් ‘හැරී ඩා සූසා’ (Harry Da Souza) නැමැති රහස් නියෝජිතයාගේ චරිතය නිරූපණය කළේය. පසුගිය වසරේ ආරම්භ වූ මෙම නිර්මාණය ‘Paramount+’ ඉතිහාසයේ වැඩිම පිරිසක් නැරඹූ දෙවැනි ටෙලි මාලාව බවට ද පත්විය. මෙහි සෙසු ප්‍රධාන චරිත සඳහා පියර්ස් බ්‍රොස්නන් (Pierce Brosnan), හෙලන් මිරන් (Helen Mirren) සහ පැඩී කොන්සිඩයින් (Paddy Considine) වැනි ප්‍රවීණ නළු නිළියන් රැසක් දායක වෙති.
ටොම් හාඩි මෙලෙස සෙට් එක තුළ සෙසු පිරිස සමඟ ගැටුම් ඇති කරගත් පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර සුප්‍රසිද්ධ ‘Mad Max: Fury Road’ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී ද ඔහු එහි ප්‍රධාන නිළි චාලිස් තෙරොන් (Charlize Theron) සමඟ දැඩි ලෙස අමනාප වී සිටි බවත්, එහිදී ඔහු ඉතා කලහකාරී ලෙස හැසිරුණු බවත් එම චිත්‍රපටයේ අධ්‍යක්ෂ ජෝර්ජ් මිලර් පසුව අනාවරණය කර තිබුණි.














