ටෙක්සාස් හි පිහිටි එක්සත් ජනපද ආගමන විගමන හා රේගු බලාත්මක කිරීමේ (ICE) රැඳවුම් මධ්‍යස්ථානයක සිටින රැඳවියන්ට ආරක්ෂක නිලධාරීන් විසින් පහරදීම, වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීම සහ පවුලේ සාමාජිකයන් හා නීතිඥවරුන් සමඟ සබඳතා පැවැත්වීම වැළැක්වීම වැනි අමානුෂික ක්‍රියාවන් සිදුකරන බව මානව හිමිකම් සංවිධාන දෙකක් විසින් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
‘හියුමන් රයිට්ස් වොච්’ (Human Rights Watch) සහ ‘ඇමරිකන් සිවිල් ලිබර්ටිස් යූනියන්’ (ACLU) විසින් සිදුකරන ලද මෙම වාර්තාව සඳහා එල් පාසෝ හි ෆෝට් බ්ලිස් හමුදා කඳවුරේ පිහිටි ‘කෑම්ප් ඊස්ට් මොන්ටානා’ (Camp East Montana) රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳවියන් 80 දෙනෙකු සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡා පාදක කරගෙන තිබේ.
එම වාර්තාවට අනුව, “රැඳවියන් පද්ධතිමය වශයෙන් පහරදීම්වලට ලක්වීම, අධික බලය භාවිත කිරීම, නිදන්ගත මන්දපෝෂණය සහ සනීපාරක්ෂාවෙන් තොර අමානුෂික ජීවන තත්ත්වයන්ට මුහුණ දීම සිදු වේ.” මෙය ඇමරිකානු සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝනය කිරීමක් බව එම සංවිධාන පවසයි. මෙම මධ්‍යස්ථානය එක්සත් ජනපදයේ විශාලතම ආගමන විගමන රැඳවුම් මධ්‍යස්ථානය ද වේ.
කෙසේ වෙතත්, එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව (DHS) මෙම චෝදනා “සම්පූර්ණයෙන්ම අසත්‍ය” බව ප්‍රකාශ කරමින් ප්‍රතික්ෂේප කර ඇත. රැඳවියන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳව ICE ආයතනය දැඩි අවධානයක් යොමු කරන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
මීට පෙර සිදුකළ පරීක්ෂණයකින් ද මෙම රැඳවුම් මධ්‍යස්ථානය බලය අනිසි ලෙස භාවිතා කිරීම සහ අසනීප වූ රැඳවියන්ට ඖෂධ ලබා නොදීම වැනි කරුණු සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක්ව තිබුණි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන කාලය තුළ රට පුරා පවතින ICE රැඳවුම් මධ්‍යස්ථානවල රැඳවියන් 50 දෙනෙකු පමණ මියගොස් ඇති බවද වාර්තා වේ.
















