හංගේරියාවේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් සහ විදේශීය ඡන්ද ගණන් කිරීමෙන් පසු, පීටර් මාගියාර් (Peter Magyar) නායකත්වය දෙන ‘ටිසා’ (Tisza) පක්ෂය ආසන 199කින් යුත් පාර්ලිමේන්තුවේ ආසන 141ක අතිවිශාල බහුතරයක් ලබා ගැනීමට සමත් වී ඇති බව එරට මැතිවරණ කාර්යාලය සෙනසුරාදා (අප්‍රේල් 18) නිවේදනය කළේය.
වසර 16ක් පුරා හංගේරියාව පාලනය කළ වික්ටර් ඕර්බන්ගේ (Viktor Orban) පාලනය නිමා කරමින් පීටර් මාගියාර් ලබාගත් මෙම ජයග්‍රහණය බටහිර ලෝකයේ දැඩි අවධානයට ලක්ව තිබේ. පරාජය පිළිගත් වික්ටර් ඕර්බන්ගේ ‘ෆිඩෙස්’ (Fidesz) පක්ෂයට මෙවර ලබාගත හැකි වූයේ ආසන 52ක් පමණි. මෙය ඕර්බන්ගේ දේශපාලන ඉතිහාසයේ ලැබූ දරුණුතම පසුබෑම ලෙස සැලකේ.
තමන්ට ලැබුණු මෙම පෙර නොලැබූ විරූ ජන වරම විශාල වගකීමක් බව පීටර් මාගියාර් ප්‍රකාශ කර ඇති අතර, ඔහු ලබන මැයි 9 වැනිදා හෝ 10 වැනිදා අගමැති ලෙස ධුරයේ දිවුරුම් දීමට නියමිතය. දූෂණයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම සහ ඕර්බන්ගේ පාලන සමයේ සිදුකළ මතභේදාත්මක ප්‍රතිසංස්කරණ වෙනස් කිරීම ඔහුගේ ප්‍රධාන අරමුණ වී තිබේ.












