ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මෙම යුගයේ ප්‍රධානතම වගකීම වන්නේ දූෂණය සහ වංචාව මෙරටින් මුලිනුපුටා දැමීම බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසයි. සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ අදහස් දක්වමින් ඔහු ජනාධිපතිවරයා වෙත මෙම සෘජු අභියෝගය එල්ල කර තිබේ.
හිටපු දේශපාලනඥයෙකු වූ දී. මූ. ජයරත්න මහතා වරක් පැවසූ “බාල්දියේ කුණු සෝදා අවසන් වූ පසු කොක්ක පමණක් ඉතිරි වන” බවට කළ ප්‍රකාශය සිහිපත් කරමින් උවිඳු පවසන්නේ ජනාධිපතිවරයා සහ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එක්ව බාල්දියේ කොක්ක පමණක් ඉතිරි වන තුරුම දූෂණයට එරෙහි “සුද්දය” දිය යුතු බවයි. ජනාධිපතිවරයාගේ කාර්යභාරය විය යුත්තේ නැවත බලයට පත්වීම ගැන සිතීම නොව, තමන්ට පැවරුණු මෙම යුගයේ මෙහෙවර අවසන් කර ගෙදර යාම බව පෙන්වා දෙන ඔහු, “ඒක කරලම මැරියන්… ආයෙ ඡන්දෙ ඉල්ලන්න නම් හිතන්නවත් එපා මචං” යනුවෙන් දැඩි ලෙස අවධාරණය කරයි.
මිනිසුන් අතරට ගොස් ඔවුන්ව අතපත ගාන ජනප්‍රිය දේශපාලන ක්‍රමවේදවලින් මිදී, ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තහවුරු කරගනිමින් මෙම භයානක සටන අවසානය දක්වා ගෙන යා යුතු බව උවිඳු මහතා වැඩිදුරටත් සඳහන් කරයි. දූෂණයට එරෙහි සටන භයානක එකක් බව ජනාධිපතිවරයාම පිළිගෙන ඇති පසුබිමක, අනෙක් පුද්ගලයින් රකින “විකිණෙන” දේශපාලනයක නිරත නොවන ලෙස ද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.














