හංගේරියානු මැතිවරණයේ ජයග්‍රාහකයා සහ එරට අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමට නියමිත පීටර් මැග්යාර් (Péter Magyar), වත්මන් අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔහු ධුරයෙන් ඉවත් වීමට පෙර යුක්රේනය සඳහා වන යුරෝ බිලියන 90ක ණය මුදලට පනවා ඇති නිශේධ බලය (Veto) ඉවත් කරන ලෙසයි. අඩු පිරිවැය රුසියානු තෙල් රැගෙන එන ‘Druzhba’ නළ මාර්ගය සම්බන්ධයෙන් කියෙව් පාලනය සමඟ පවතින ආරවුලක් හේතුවෙන් ඕර්බන් මෙම ප්‍රකට නිශේධ බලය භාවිත කර තිබුණි.
බදාදා හංගේරියානු රාජ්‍ය මාධ්‍ය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී මැග්යාර් පෙන්වා දුන්නේ, ‘Druzhba’ නළ මාර්ගය ඔස්සේ යළි තෙල් ගලා ඒම ආරම්භ වන්නේ නම්, යුක්රේනයට ලබාදෙන ආධාර අවහිර කිරීමට තාක්ෂණික වශයෙන් තවදුරටත් හේතුවක් නොමැති බවයි. පසුගිය දෙසැම්බරයේදී යුරෝපා සංගමයේ නායකයින් 27 දෙනාම මෙම ණය ක්‍රමය සඳහා එකඟතාව පළ කර තිබූ අතර, පෙබරවාරි මැද භාගයේදී ඕර්බන් විසින් එය වළක්වන ලදී. මැයි මාසයේදී වික්ටර් ඕර්බන් ධුරයෙන් ඉවත් වීමට නියමිතව ඇති අතර, ඊට පෙර මෙම ගැටලුව විසඳන ලෙස මැග්යාර් මෙලෙස අවධාරණය කර සිටී.














