ඇමෙරිකානු මහ බැංකුව හෙවත් ෆෙඩරල් බැංකුවේ සභාපති ධුරය සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරන ලද කෙවින් වෝෂ් සෙනෙට් මණ්ඩලයේදී දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්විය. මෙහිදී ප්‍රජාතන්ත්‍රවාදී සෙනෙට් සභික එලිසබෙත් වොරන් චෝදනා කළේ කෙවින් වෝෂ් යනු ට්‍රම්ප්ගේ රූකඩයක් වනු ඇති බවයි. විශේෂයෙන්ම ධුරයට පත්වූ වහාම පොලී අනුපාත අඩු කිරීමට ඔහු එකඟ වී ඇති බවට පැතිර යන රාවය මෙහිදී අවධානයට ලක් වූ නමුත් තමා ස්වාධීනව කටයුතු කරන බව වෝෂ් අවධාරණය කළේය.
වෝෂ්ගේ මූල්‍ය ආයෝජන සහ වත්කම් පිළිබඳව ද මෙහිදී දැඩි ලෙස ප්‍රශ්න කෙරිණි. ඔහුගේ ආයෝජන අරමුදල් හරහා ජෙෆ් ප්‍රි එප්ස්ටයින් වැනි අපකීර්තිමත් පුද්ගලයන් සමඟ මූල්‍ය ගනුදෙනු පවත්වා ඇත්දැයි සෙනෙට් සභිකයින් විමසූ අතර තමා ධුරයට පත් වුවහොත් එම ආයෝජනවලින් ඉවත් වන බව වෝෂ් ප්‍රකාශ කළේය. එසේම තමා සහ ට්‍රම්ප් අතර පොලී අනුපාත සම්බන්ධයෙන් කිසිදු පූර්ව එකඟතාවක් නොමැති බව ද ඔහු මෙහිදී පැහැදිලි කළේය.
තමා ධුරයට පත්වුවහොත් ෆෙඩරල් බැංකුවේ මෙහෙයුම් රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන බව වෝෂ් පවසා ඇත. උද්ධමනය මනින ආකාරය සහ ප්‍රතිපත්තිමය තීන්දු ප්‍රකාශ කරන ආකාරයෙහි “පාලන තන්ත්‍ර වෙනසක්” සිදු කිරීමට ඔහු බලාපොරොත්තු වේ. මේ අතර වර්තමාන සභාපති ජෙරොම් පවෙල් සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ ද මෙම පත්වීමේ ක්‍රියාවලියට යම් බලපෑමක් එල්ල කර ඇති බව වාර්තා වේ.














