හයුන්ඩායි (Hyundai) මෝටර් රථ සමාගම සිය නවතම කුඩා විදුලි මෝටර් රථය වන IONIQ 3, ඉතාලියේ මිලාන්හි පැවැත්වෙන 2026 නිර්මාණ සතියේදී (Milan Design Week) ලොවට ප්‍රථම වරට හෙළිදරව් කර තිබේ. මෙය ප්‍රධාන වශයෙන් යුරෝපීය වෙළෙඳපොළ ඉලක්ක කරගත් ‘හැච්බැක්’ (Hatchback) මාදිලියේ රථයකි.
මෙහි වායුගතික කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ‘Aero Hatch’ සැලසුම භාවිතා කර ඇති අතර එහි වායු ප්‍රතිරෝධී සංගුණකය (Drag coefficient) 0.263 ක් වැනි ඉතා අඩු මට්ටමක පවතී. 61 kWh බැටරියකින් සමන්විත මෙම රථය එක් වරක් ආරෝපණය කිරීමෙන් පසු කිලෝමීටර් 496 ක් දක්වා දුරක් ධාවනය කළ හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කුඩා මෝටර් රථයක් වුවද ‘Flat-floor’ තාක්ෂණය සහ මිලිමීටර් 2,680 ක දිගු රෝද පදනම (Wheelbase) නිසා රථය තුළ වැඩි ඉඩකඩක් නිර්මාණය වී ඇත. ගමන් මලු තැබීම සඳහා ලීටර් 441 ක ඉඩක් වෙන් කර තිබේ. Android Automotive OS මත පදනම් වූ ‘Pleos Connect’ නම් මීළඟ පරම්පරාවේ තොරතුරු සහ විනෝදාස්වාද පද්ධතිය (Infotainment system) මෙයට ඇතුළත් කර ඇත. මීට අමතරව ස්වයංක්‍රීයව රථය ගාල් කිරීම (Remote Smart Parking Assist) වැනි උසස් ආරක්ෂක පද්ධති රැසක් ද මෙහි අඩංගුය.
හයුන්ඩායි සමාගම පවසන්නේ දෛනික ජීවිතයේදී විදුලි වාහන අත්දැකීම වඩාත් සමීප කරවීමට මෙම IONIQ 3 රථය මහඟු දායකත්වයක් ලබා දෙනු ඇති බවයි.














