27 April 2024
#දේශීය

මොන ප්‍රශ්ණය ආවත් ‍ “සෞභාග්‍යයේ දැක්ම” ඉටු කරන්න කැපවෙනවා – ජනපති

ජනතාව නොමග යවමින් රට අගාධයට ඇද දැමීමට පසුගිය ආණ්ඩු කළ කණ්ඩායම් නැවතත් එක්ව සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කුමන අභියෝග හමුවේ වුව ද “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් වූ පොරොන්දු ප්‍රකාරව ගොවි ජනතාවගේ ආදායම සියයට සියයකින් ඉහළ නැංවීමටත් රටත් ජනතාවත් ආරක්ෂා කිරීමටත් තමා කැපවන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජනරැළි මාලාවේ “පළමු පොදුජන රැලිය” අමතමිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී පොදුජන රැලිය පැවැත්විණ.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අභියෝග හමුවේ රජය අත්පත් කරගත් ඉලක්ක පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහජන රැලි මාලාව සංවිධාන කරයි.

මහින්ද රාජපක්ෂ රජය පෙරලා දැමීමට එදා කටයුතු කළාක් මෙන් දේශීය හා විදේශීය බලවේග එක්ව නැවත රජයේ ගමන වැළැක්වීමට උත්සාහ කරන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඉදිරි පරම්පරාවේ සුබසිද්ධිය ඉලක්කගතව ක්‍රියාවට නැංවෙයි. එබැවින් කුමන බාධක පැමිණිය ද අඛණ්ඩව පෙරට යන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ආණ්ඩුවට විරුද්ධව පාරට බැස වර්ජන කරන අය ආණ්ඩුව දෙස නොව ජනතාව දෙස බැලිය යුතුය. රාජ්‍ය සේවකයන් රටත් ජනතාවත් වෙනුවෙන් සේවයට කැපවිය යුතු වේ. පිබිදෙමින් පවතින ආර්ථිකය ආරක්ෂා කරගැනීමට රට නොවසා රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට ඉඩ තැබීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

මහා සංඝරත්නය, කැබිනට් අමාත්‍යවරු, උතුරු මැද පළාත් ආණ්ඩුකාරතුමා, රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, හිටපු පළාත් සභා මැති ඇමතිවරු, නගර සභා, ප්‍රාදේශීය සභා සභාපතිවරු, මන්ත්‍රීවරු සහ මහජන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *